මැදපෙරදිග කලාපයේ දින 200කට අධික දීර්ඝ කාලීන රාජකාරි මෙහෙයුමකින් අනතුරුව, අමෙරිකානු නාවික හමුදාවට අයත් ‘ඒබ්‍රහම් ලින්කන්’ නෞකාව ඇතුළු නෞකා ත්‍රිත්වයක් 5,000කට ආසන්න සෙබළුන් පිරිසක් සමඟ තායිලන්තයේ පතායා ආසන්නයේ පිහිටි ලීම් චබෑන්ග් වරායට සපැමිණීමට නියමිත බව රොයිටර්ස් පුවත් සේවය වාර්තා කරයි.
මෙම පැමිණීමත් සමඟ සෙබළෙකු දිනකට ඩොලර් 30-91ත් අතර මුදලක් වියදම් කරනු ඇතැයි ඇස්තමේන්තු කර ඇති අතර, එමඟින් ප්‍රදේශයේ සංචාරක සහ රාත්‍රී කාලීන ව්‍යාපාරික ක්ෂේත්‍රයට විශාල ආර්ථික වාසියක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.
කෙසේ වෙතත්, මෙම සෙබළුන්ගේ සංචාරයත් සමඟ නීති විරෝධී ලිංගික වෙළෙඳාම සහ සමාජ රෝග පැතිරීමේ අවදානම ඉහළ යා හැකි බවට විද්වතුන් පෙන්වා දී තිබේ. තායිලන්තය තුළ වෛශ්‍යා වෘත්තිය නීති විරෝධී වන බැවින්, නෞකාව පැමිණීමට පෙර ක්‍රියාත්මක වූ තායිලන්ත පොලීසිය පතායා නගරයේ සිදුකළ විශේෂ වැටලීම්වලදී සැකපිට 40-50ත් අතර පිරිසක් අත්අඩංගුවට ගෙන ඇත.
මීට අමතරව, දීර්ඝ කාලීන මෙහෙයුම් හේතුවෙන් සෙබළුන් අතර පැවැති මානසික පීඩනයන් පිළිබඳ වාර්තා වීමද පවතින අවදානම තවත් වැඩි කිරීමට හේතුවක් ලෙස දැක්වේ.
