දකුණු කොරියාවේදී මුහුදට කඩා වැටුණු ගුවන් යානයක නියමුවන් දෙදෙනෙකුගේ ජීවිත බේරාගැනීමේ අසමසම මානුෂීය මෙහෙයුමක් සිදුකළ ශ්‍රී ලාංකික තරුණයන් දෙදෙනෙකුට එරට දිගුකාලීන පදිංචි වීසා ලබාදීමට දකුණු කොරියානු රජය නිල වශයෙන් තීරණය කර ඇතැයි වාර්තා වේ.
සෝල් නුවර සිට කිලෝමීටර් 45ක් පමණ දකුණින් පිහිටි හ්වාසන්ග් වෙරළට ඔබ්බෙන් වූ කහ මුහුදේ ධීවර කටයුතුවල නිරතව සිටි ශ්‍රී ලාංකිකයන් තිදෙනෙකු විසින්, අනතුරට ලක්ව මුහුදට කඩා වැටුණු ගුවන් යානයේ නියමුවන් දෙදෙනා සිය ධීවර බෝට්ටුව යොදාගනිමින් අතිශය ක්ෂණිකව හා සුරක්ෂිතව බේරාගෙන වෙරළට රැගෙන ඒමට සමත් විය.
මෙම ලාංකිකයන් දෙදෙනා අනතුර සිදුවන අවස්ථාවේදී රැකියා බලපත්‍ර ක්‍රමය (EPS) යටතේ නිකුත් කරන 'E-9' වීසා කාණ්ඩය යටතේ සේවය කරමින් සිටි අයයි.
සාමාන්‍යයෙන් එම වීසා මඟින් රැඳී සිටිය හැක්කේ වසර 4යි මාස 10ක් පමණක් වුවද, ඔවුන් කළ වීර ක්‍රියාව වෙනුවෙන් කොරියානු අධිකරණ අමාත්‍යාංශය ඔවුන්ට ස්ථිර ලෙස රැඳී සිටිය හැකි දිගුකාලීන වීසා හිමිකර දී ඇත.
මෙම ගලවාගැනීමේ මෙහෙයුමට සහභාගී වූ අනෙක් ශ්‍රී ලාංකිකයාටද මීට පෙරම දිගුකාලීන වීසා හිමිව ඇති අතර, ඒ අනුව එම මානුෂීය මෙහෙයුමට එක්වූ ශ්‍රී ලාංකිකයන් තිදෙනාටම කොරියාවේ ස්ථිර රැකවරණය හිමිවීම විශේෂත්වයක් ලෙස දක්වන්න පුළුවන්.
