විශාරද නන්දා මාලනියගේ වැඩිමල් දියණිය වරුණිගේ දියණිය වන රන්දි ගමගේ, සිය ආදරණීය මිත්තණිය වෙනුවෙන් ෆේස්බුක් ගිණුම ඔස්සේ තැබූ සංවේදී සටහන මේ වනවිට බොහෝ දෙනෙකුගේ හදවත් සංවේදී කර තිබේ.
ව්‍යාපාරික කාන්තාවක වන රන්දිගේ මව් පාර්ශ්වයෙන් ආච්චි වූයේ විශාරද නන්දා මාලනිය වන අතර, පිය පාර්ශ්වයෙන් සීයා වූයේ අභාවප්‍රාප්ත ප්‍රවීණ කලාකරු ධර්මසිරි ගමගේ මහතාය.
රන්දි සිය සටහනේ සඳහන් කරන්නේ, තම ආච්චි නන්දා මාලනිය බව කිසිදිනක උලුප්පා නොකී බවත්, ඇයගේ ලොකු මිණිපිරිය බව දැන සිටියේ ඉතාමත් සීමිත පිරිසක් බවත්ය.
ලෝකය හඳුනාගත් විශාරද නන්දා මාලනියට වඩා, තමන්ට ඇය ආදරණීය “ආච්චී” වූ බව රන්දිගේ සටහන පුරාවටම දැනෙයි. ලෝකයක් ආදරය කළ කලාකාරිනියක වූ ඇය, තම නිවසේදී තම මිණිපිරියගේ බලු පැටියා ගැන විමසමින්, පින්තූර බලමින්, තේ සහ බිස්කට් දුන් සරල ආදරණීය ආච්චී කෙනෙකු වූ බව ඇය සිහිපත් කරයි.
නන්දා මාලනියගේ ගීත අතරින් “අම්මාවරුනේ” ගීතය තමන්ට අදටත් අසන්නට අපහසු බවත්, ආච්චී එය ගයන විට බොහෝ විට එය නොඅසා සිටීමට උත්සාහ කළ බවත්, නොහැකි අවස්ථාවලදී ඉකිගසා හඬමින් එය අසා සිටි බවත් රන්දි සංවේදීව සඳහන් කර තිබේ.
එමෙන්ම නන්දා මාලනිය තම පියා වූ ධර්මසිරි ගමගේ මහතාට දැක්වූ ආදරය, ඔහුගේ වියෝවේදී ඇය හඬමින් සිටි ආකාරය සහ තම පියාටද ඇය දැක්වූ සෙනෙහස පිළිබඳව රන්දි සිය මතකයන් අවදි කරයි.
නන්දා මාලනියගේ අවසන් ගමනේදී ලංකාවේ සෑම ප්‍රදේශයකින්ම පැමිණි මිනිසුන්ගේ ආදරය ගැනද ඇය සිහිපත් කරයි.
කිලෝමීටර් ගණන් අව්වේ පෝලිම්වල සිටි සාමාන්‍ය මිනිසුන්…
“ආදරෙයි” යනුවෙන් කුඩා කොළ කැබැල්ලක ලියා රැගෙන ආ අහිංසක මිනිසා…
කොසු විකුණමින් ජීවත් වූ මිනිසා…
කකුල් දෙක නොමැතිව අතේ වාරුවෙන් පැමිණි මිනිසා…
අතින් ඇඳි සිතුවමක්, අතින් ගෙතූ මල්මාලයක් හෝ එක රෝස මලක් රැගෙන ආ සාමාන්‍ය රසිකයන්…
මේ සියලු දෙනාටම ඇය සිය සටහන තුළින් හිස නමා ආචාර කරයි.
“ලෝකයක් ඉදිරියේ උඩගු ලියන් ගොතා බඳින ගැයූ විශාරද නන්දා මාලනියට” හදවතින්ම ගරු කරන බවත්, තම නිවසේදී ආදරයෙන් තේ බිස්කට් දුන් “ආච්චීට” නිතැතින්ම ආදරය කරන බවත් රන්දි සිය සංවේදී සටහන අවසානයේ සඳහන් කර තිබේ.
