ශ්‍රී ලංකාවේ ආගමන හා විගමන දෙපාර්තමේන්තුව යනු හුදෙක් පරිපාලනමය වශයෙන් අකාර්යක්ෂම ආයතනයක් පමණක් නොව, ජාතික ආරක්ෂාව පවා සූරාකමින් මහා පරිමාණ ජාවාරම්වල නිරත වන අතිශය දූෂිත අභයභූමියක් බවට පත්ව ඇති බව නැවත නැවතත් තහවුරු වෙමින් පවතී. සාමාන්‍ය අහිංසක මහජනතාව රස්තියාදු කරමින් මුදල් හම්බකරන අතරතුර, මෙරට ප්‍රබල පාතාල නායකයන්ට සහ විදේශිකයන්ට ව්‍යාජ ගමන් බලපත්‍ර තොග පිටින් නිකුත් කිරීමේ මහා පරිමාණ ජාවාරමක තොරතුරු මේ වන විට පුවත්පත් සහ මාධ්‍ය ඔස්සේ අතිශය බරපතල ලෙස හෙළිදරව් වෙමින් පවතී.
සාමාන්‍ය ජනයාට අංක ජාවාරම - පාතාලයට පාස්පෝට් 19ක්!
මහනුවර ආගමන හා විගමන ප්‍රාදේශීය කාර්යාලය වැනි ස්ථානවල සාමාන්‍ය ජනතාව උදෑසන 5.00 ට පැමිණ අංක ලබාගත යුතු බවට වෙබ් අඩවියේවත් නැති අත්තනෝමතික නීති දමමින්, අසරණ මිනිසුන් මහ පාරේ අව්වේ තප්පවමින්, යටින් අංක විකුණන කූට වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වන ආකාරය අප මීට පෙරද හෙළිදරව් කළෙමු. නමුත් මෙම කුරිරු ජාවාරමේ සැබෑ අඳුරු පැත්ත ඊටත් වඩා බරපතලය.
දැනට රැඳවුම් නියෝග මත අත්අඩංගුවේ පසුවන, මත්කුඩු ජාවාරම්කරුවකු මෙන්ම ප්‍රබල පාතාල කල්ලි නායකයෙකු වන "කෙහෙල්බද්දර පත්මේ" නැමැත්තා වෙත පමණක් මෙම දෙපාර්තමේන්තුව මගින් විදේශ ගමන් බලපත්‍ර 19ක් නිකුත් කර ඇති බවට වාර්තා වී තිබේ!
සාමාන්‍ය පුද්ගලයෙකුට එක ගමන් බලපත්‍රයක් සාදා ගැනීමට මාස ගණන් ලෙයින් කඳුළින් පෝලිම්වල සිටීමට සිදුවෙද්දී, රටේ අතිශය භයානක පාතාල අපරාධකාරයෙකුට වෙනස් නම්වලින් ගමන් බලපත්‍ර 19ක් සකසා දීමට තරම් මෙම දෙපාර්තමේන්තුව දූෂිත වී තිබීම කොතරම් පිළිකුල් සහගතද?
කෙහෙල්බද්දර පත්මේ පමණක් නොව, මෙරට ක්‍රියාත්මක තවත් බොහෝ පාතාල නායකයන් සහ සංවිධානාත්මක අපරාධකරුවන් සඳහාද මෙලෙස එකම තැනැත්තාට විවිධ නම්වලින් විදේශ ගමන් බලපත්‍ර තොග පිටින් නිකුත් කර ඇති බවට තොරතුරු අනාවරණය වේ.
වෙනත් රටවල වීසා ප්‍රතික්ෂේප වූවන්ට අලුත් නමකින් පාස්පෝට් දෙන ජාවාරම
මෙම දූෂිත ජාලයේ බරපතලම අංශයක් වන්නේ යුරෝපය, ඇමරිකාව සහ ජපානය වැනි සංවර්ධිත රටවලට යාමට වීසා අයදුම්කර, එම රටවල වීසා ප්‍රතික්ෂේප වූ පුද්ගලයන් ඉලක්ක කරගනිමින් කෙරෙන ජාවාරමයි.
එම රටවල් මගින් වීසා බලපත්‍ර ප්‍රතික්ෂේප කරන ලද පුද්ගලයන්ට, වෙනත් ව්‍යාජ නම්වලින් අලුතින්ම විදේශ ගමන් බලපත්‍ර සකසා දී නැවත එම රටවල් රැවටීමට සැලසීමේ සංවිධානාත්මක කූට වැඩපිළිවෙලක් ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් පවත්වාගෙන ගොස් ඇත.
මෙම ජාවාරම් පිළිබඳ සියලුම ප්‍රබල සාක්ෂි සහ තොරතුරු මේ වන විට අප සතුව පවතින බව වගකීමෙන් යුතුව ප්‍රකාශ කරමු. ඊටත් වඩා බරපතල කරුණ වන්නේ ශ්‍රී ලාංකිකයන්ට පමණක් නොව, විදේශීය රටවල ජාතිකයන්ට පවා නීති විරෝධී ලෙස ශ්‍රී ලාංකික විදේශ ගමන් බලපත්‍ර සකස් කර දී තිබීමයි.
ඉහළ සිට පහළටම වෙළාගත් සංවිධානාත්මක අපරාධයක්
මෙම මහා දූෂණය හුදෙක් සුළු සේවකයෙකුගේ හෝ තනි පුද්ගලයෙකුගේ අත්වැරැද්දක් නොවේ. ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ස්ථිර නිලධාරීන් ලෙස කටයුතු කරන විශාල පිරිසක් මෙන්ම, එහි සේවය කළ සහ දැනටත් සේවයේ නිරතව සිටින ඉහළම නිලධාරීන්ගේද පූර්ව අනුමැතිය සහ සෘජු සම්බන්ධතාවය මත මෙම සංවිධානාත්මක අපරාධය සිදුව ඇත.
රාජ්‍ය සේවයේ ගෞරවය කෙලෙසමින්, මහජනතාවගෙන් මුදල් සූරාකමින් සහ ජාතික ආරක්ෂාව පවා පාතාලයට හා විදේශිකයන්ට පාවා දෙමින් සිදුකරන මෙම ජඩකම් පිළිබඳව වහාම ක්‍රියාත්මක වන පරිදි ස්වාධීන හා අපක්ෂපාතී පූර්ණ විමර්ශනයක් සිදුකළ යුතුය.
පාතාලයට පාස්පෝට් තොග පිටින් ලියා දුන්, අසරණ ජනතාවගෙන් මුදල් ගරන මෙම සියලු දූෂිත නිලධාරීන් වහාම අත්අඩංගුවට ගෙන නීතිය හමුවට පැමිණවිය යුතු අතර, මෙම අසාධාරණයන්ට එරෙහිව සහ මෙම මහා ජාවාරම සම්පූර්ණයෙන්ම මුලිනුපුටා දමන තෙක් මාධ්‍යයක් ලෙස අප අඛණ්ඩව සෙවිල්ලෙන් සිටින බව අවධාරණය කරමු!
