දෑත් සහ දෙපා බැඳ ඝාතනය කළ බවට සැක කෙරෙන පිරිමි පුද්ගලයකුගේ මළ සිරුරක් ඊයේ (23) සවස ගිං ගඟේ වක්වැල්ල පාලම අසල තිබියදී සොයාගෙන තිබේ. මළ සිරුර වතුරේ ගිලී තිබීම සඳහා ඝාතකයින් විසින් එහි දෙපාවල විශාල ප්‍රමාණයේ කොන්ක්‍රීට් කැබැල්ලක් ද ගැටගසා තිබූ බව පොලිසිය පවසයි.
බද්දෙගම, දොඩංගොඩ ආසන්න ප්‍රදේශයේ ගඟේ මළ සිරුරක් පාවෙමින් පවතින බවට ලද තොරතුරකට අනුව මුලින්ම තෙලිකඩ පොලිසිය විසින් සිරුර සෙවීමේ මෙහෙයුම් ආරම්භ කර තිබුණි.
පසුව ගඟේ සැඩපහරට හසුව පහළට ගසාගෙන ගිය සිරුර, පෝද්දල පොලිස් වසමට අයත් වක්වැල්ල පාලම අසල සිරවී තිබියදී සොයා ගැනීමට හැකිව තිබේ. මියගොස් ඇත්තේ කවුරුන්ද යන්න මෙතෙක් හඳුනාගෙන නොමැති අතර, ඔහු අවුරුදු 40-50ත් අතර වයසක පසුවන්නෙකු බවට සැක කෙරේ. සිද්ධිය සම්බන්ධයෙන් පෝද්දල සහ තෙලිකඩ පොලිස් ස්ථාන මඟින් පුළුල් පරීක්ෂණ ක්‍රියාත්මකය.
