රුහුණ විශ්වවිද්‍යාලයේ මානවශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨයේ 46 වන ශිෂ්‍ය කණ්ඩායමේ ඉගෙනුම ලැබූ, මාතර දෙනියාය ප්‍රදේශයේ පදිංචිව සිටි 23 හැවිරිදි සඳලි තාරිකා සිසුවිය ඩෙංගු උණ රෝගය වැළඳීමෙන් අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබේ. තාරුණ්‍යයේ උපරිමයේ සිටි ඇයගේ මෙම හදිසි වියෝව හේතුවෙන් රුහුණ විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨ ශිෂ්‍ය සංගමය මෙන්ම මහා ශිෂ්‍ය සංගමය ඇතුළු සමස්ත සරසවි ප්‍රජාව දැඩි කම්පනයට පත්ව ඇති අතර ඔවුහු සිය සාතිශය සංවේගය පළ කරති.
"පියෙහි විප්පයෝගෝ දුක්ඛෝ" යන බුදු වදන පසක් කරමින් සිදු වූ මෙම අකල් මරණය, මුළු මහත් රටම කම්පා කරවන සුළු ඛේදවාචකයක් බවට පත්ව ඇත.
සඳලි තාරිකා සිසුවියගේ මෙම අවාසනාවන්ත නික්මයාම මෙරට නැවත වරක් හිස ඔසවමින් පවතින ඩෙංගු වසංගතයේ බියකරු ස්වභාවය මැනවින් පෙන්නුම් කරන්නකි. ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ සහ වසංගත රෝග විද්‍යා අංශයේ නිල සංඛ්‍යාලේඛනවලට අනුව, මේ වසරේ ගතවූ කාලය තුළ දිවයින පුරා ඩෙංගු රෝගීන් 37,000කට ආසන්න ප්‍රමාණයක් වාර්තා වී ඇති අතර ඇතැම් රෝහල් ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ මේ වන විට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 50,000 සීමාව පවා ඉක්මවා ගොස් ඇති බවයි. මෑතකදී රට තුළ ඇති වූ මෝසම් වැසි සහ ගංවතුර තත්ත්වයත් සමඟ මෙම රෝග ව්‍යාප්තිය පාලනයෙන් තොරව සීඝ්‍රයෙන් ඉහළ යමින් පවතී.
මෙම වෛරස් රෝගයේ ව්‍යාප්තියෙන් සියයට පනහකට වඩා වැඩි ප්‍රමාණයක් බස්නාහිර පළාතෙන් වාර්තා වන අතර, තත්ත්වය සලකා බලා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ප්‍රදේශ රැසක් අධි අවදානම් කලාප ලෙස නිල වශයෙන් ප්‍රකාශයට පත් කර ඇත. ඒ අනුව කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, ගාල්ල, රත්නපුර මෙන්ම මියගිය සිසුවියගේ උපන් ගම වන මාතර දිස්ත්‍රික්කය ද මෙම අධි අවදානම් කලාප අතරට ඇතුළත් වේ.
සඳලි තාරිකා ඩෙංගු වැළඳීම නිසා සිය නැටුම් කණ්ඩායමට තම අසනීපය ගැන දන්වමින් යැවූ පණිවිඩයක 'මං නොමැරුනොත් එන්නම් යාලුවනේ' ලෙස සංවේදී සටහනක් තිබීම බොහෝ අයට කම්පනය ගෙනදී තිබේ.
