කැනඩාවට යවනවා කියලා පොරොන්දු වෙලා රුපියල් කෝටි එකහමාරක් වංචා කරලා, භෞතචිකිත්සකවරියකගේ මරණයකට සම්බන්ධ ප්‍රධාන සැකකාර පෙම්වතා යාපනය ප්‍රදේශයේදී ඔහුගේ විවාහක බිරිඳ සහ කුඩා දරුවෙකු සමග පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තියෙනවා.
ඒ වලාන දුෂණ මර්ධන එකකයේ ප්‍රධානි රොහාන් ඔලුගල මහතාට ලැබුණු ඔත්තුවක් අනුව, වැල්ලවත්තේ සිට යාපනය බලා යමින් සිටි මෙම සැකකරු සහ ඔහුගේ බිරිඳ යාපනය කොට්ඨාස පොලිස් නිලධාරින්ගේද සහය ඇතිව මොවුන් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අද රොහාන් ඔ්ලුගලටත් විශේෂ දවසක් ඒ අද ඔහුගේ ජන්ම දිනයද වීමයි.
මෙම මෙහෙයුම පිළිබඳව පොලිස්පතිවරයාද සෘජු අධීක්ෂණයේ සිට ඇති බව වාර්තා වෙනවා..
මේ සිද්ධිය ආරම්භ වෙලා තියෙන්නේ පසුගිය 17 වැනිදා. එදා තෙල්දෙණිය ප්‍රදේශයේ නවතා තිබුණු මෝටර් රථයක් තුළ තිබී කාන්තාවකගේ මළ සිරුරක් හමු වෙලා තියෙනවා. ඒ මියගිය අය වැලිගම පල්ලල්ල ප්‍රදේශයේ පදිංචි, අම්පාර රෝහලක සේවය කර ඉන් ඉවත්ව සිටි භෞතචිකිත්සකවරියක් බවට හඳුනාගෙන තියෙනවා.
පොලිස් විමර්ශනවලින් හෙළිවෙලා තියෙන්නේ, සැකකරු නාරම්මල ප්‍රදේශයේ පදිංචි තිදරු පියෙකු බවත්, ඔහු බොරු කොණ්ඩයක් (wig) පාවිච්චි කරලා කාන්තාවන් රවට්ටමින් මුදල් වංචා කළ පුද්ගලයෙකු බවත්ය. ඔහුට එරෙහිව CID ඇතුළු පොලිස් ස්ථාන ගණනාවකම පැමිණිලි සහ නඩු පවතින බවත් වාර්තා වෙනවා.
මෙම තරුණිය ඔහු සමඟ කැනඩාවට යන්න බලාපොරොත්තුවෙන් ඉඳලා තියෙනවා. ඒ සඳහා ඇය බැංකු සහ පුද්ගලයින්ගෙන් ණය ගනිමින් රුපියල් කෝටි එකහමාරකට ආසන්න මුදලක් ඔහුට ලබාදීලා තියෙනවා.
පසුගිය 16 වැනිදා ඔවුන් දෙදෙනා නුවරඑළිය ප්‍රදේශයේ ලැගුම්හලකට ගිහින් තියෙනවා. එදින රාත්‍රියේම ඇය මියගොස් ඇති බවට පොලිසිය සැක කරනවා.
ඊට පස්සේ සැකකරු ඇගේ සිරුර මෝටර් රථයක දාලා, ඊළඟ දවසේ උදෑසන තෙල්දෙණිය ප්‍රදේශයට ගෙනවිත් තියෙනවා. පසුව ඔහුම පොලිසියට දුරකථන ඇමතුමක් දීලා, මෝටර් රථයේ මළ සිරුරක් තියෙනවා කියලා දන්වලා පළාගොස් තිබුණා.
මේ මරණය සිදුවුණ ආකාරය තවමත් නිශ්චිතව හෙළිවෙලා නැහැ. ඒ ගැන වැඩිදුර පරීක්ෂණ සඳහා සැකකරුගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීම් සිදුකරන බව පොලිසිය සඳහන් කරනවා.
