මියගිය කාන්තාවකගේ දේහය තැන්පත් කිරීම සඳහා අවශ්‍ය මිනී පෙට්ටි ආධාරක කණු රැගෙන ඒම සිතාමතාම පමා කරමින්, වෑන් රථයක් තුළ මත්පැන් පානය කරමින් සිටි සමුපකාර මල්ශාලාවක සභාපතිවරයෙකු ඇතුළු පිරිසකට ප්‍රදේශවාසීන් විසින් පහර දීමේ පුවතක් පොල්පිතිගම ප්‍රදේශයෙන් වාර්තා වේ.
මියගිය තැනැත්තියගේ දේහය නිවසේ තැන්පත් කිරීමට ආධාරක නොමැති වීම නිසා අවසන් ගෞරව දැක්වීමේ කටයුතු ඇණහිට තිබූ අතර, ඒ පිළිබඳව දැනුම් දුන් විට සභාපතිවරයා ඉතා ඉක්මනින් ඒවා රැගෙන එන බවට පොරොන්දු වී ඇත. කෙසේ වෙතත්, පොරොන්දු වී පැය තුනකට වඩා අධික කාලයක් ගතවන තුරුත් ඔහු නොපැමිණීම හේතුවෙන් මෘතදේහය සහිත පෙට්ටිය විවෘත කිරීමට පවා නොහැකිව නිවැසියන් දැඩි අසීරුතාවකට පත්ව සිට තිබේ.
මෙම ප්‍රමාදය පිළිබඳව සොයා බැලූ නිවැසියන්ට සහ ප්‍රදේශවාසීන්ට දැනගන්නට ලැබී ඇත්තේ, සභාපතිවරයා එම අත්‍යවශ්‍ය රාජකාරිය පැහැර හරිමින් සිය හිතවතුන් පිරිසක් සමග වෑන් රථයක් තුළ මත්පැන් සාදයක් පවත්වන බවයි.
ඉන් දැඩි සේ කෝපයට පත් ගම්වැසියන් පිරිසක් අදාළ ස්ථානයට ගොස් සභාපතිවරයා ඇතුළු පිරිසට දැඩි ලෙස පහර දී ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කිරීමට සභාපතිවරයා කටයුතු කර නැත්තේ සිදුවන නින්දාව වළක්වා ගැනීමටය. එසේ වුවද, මෙම පහරදීමේ දර්ශන ඇතුළත් වීඩියෝ පට මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි ලෙස සංසරණය වෙමින් පවතී.
