දෙල්ගොඩ සියඹලාපේවත්ත ප්‍රදේශයේදී වයස අවුරුදු දෙකක පිරිමි දරුවෙකු එම දරුවාගේ මවගේ අනියම් පුරුෂයා විසින් සිදුකළ පහරදීමකින් ඝාතනය කර ඇතැයි මීගහවත්ත පොලිසිය පවසයි. මෙම සිදුවීම ඉකුත් 23 වැනිදා පෙරවරුවේ සිදුව තිබේ.
ඝාතනය සම්බන්ධයෙන් මල්වාන, උල්හිටිවල ප්‍රදේශයේ පදිංචි 49 හැවිරිදි පුද්ගලයෙකු මීගහවත්ත පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.
මියගිය දරුවා හඬමින් සිටි අවස්ථාවේදී උරණ වූ සැකකරු දරුවාට අමානුෂික ලෙස පහර දී ඇති බව මූලික පරීක්ෂණ වලදී හෙළි වී තිබේ. පහරදීමෙන් පසු දරුවා සිහිසුන් වී ඇති අතර, රෝහල් ගත කරන විටත් දරුවා මියගොස් සිටි බව වාර්තා වේ.
මියගිය දරුවාගේ පියා මත්ද්‍රව්‍ය වරදක් සම්බන්ධයෙන් බන්ධනාගාරගතව සිට ඇති අතර, ඔහු නිදහස් වී නිවසට පැමිණ ඇත්තේ දරුවා මියගිය දිනට පසු දින (24 දා) බව අනාවරණය වී ඇත.
සැකකරු මහර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන මැයි මස 07 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබේ.
මීගහවත්ත පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
