දෙල්ගොඩ, සියඹලාපේවත්ත ප්‍රදේශයේ පදිංචි අවුරුදු දෙකයි මාස හතරක් වයසැති ඉලන්දාරි පේලිගේ රෝහිත දසුන් නමැති සිඟිත්තා අමානුෂික ලෙස ඝාතනය කිරීමේ පුවතක් මීගහවත්ත පොලිසියෙන් වාර්තා වේ.
මෙම ඝාතනය සම්බන්ධයෙන් මියගිය දරුවාගේ මව සමඟ අනියම් සබඳතාවක් පැවැත්වූ මල්වාන, උලහිටිවල ප්‍රදේශයේ පදිංචි 49 හැවිරිදි පුද්ගලයෙකු සැකපිට අත්අඩංගුවට ගෙන ඇත. දරුවාගේ මව නිවසේ සිට මීටර් 100 ක් පමණ දුරින් පිහිටි ළිඳට මුහුණ සේදීමට ගිය අවස්ථාවේදී, දරුවා හැඬීම ඉවසාගත නොහැකිව තමා දරුවාට පහර දුන් බව සැකකරු පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ පාපොච්චාරණය කර තිබේ.
පහරදීමෙන් පසු දරුවා සිහිසුන්ව ඇද වැටී ඇති අතර, මුහුණ සෝදා පැමිණි මවට සැකකරු පවසා ඇත්තේ දරුවා ඉබේම ඇද වැටී සිහි නැති වූ බවයි. පසුව දෙදෙනා එක්ව දරුවා බියගම රෝහලට රැගෙන ගියද, රෝහල් ගත කරන විටත් කුඩා සිඟිත්තා මියගොස් සිටි බව වාර්තා වේ. මේ පිළිබඳව සැක සිතූ රෝහල් බලධාරීන් වහාම මීගහවත්ත පොලිසිය දැනුවත් කිරීමට පියවර ගෙන ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් මහර වැඩබලන මහෙස්ත්‍රාත්වරයා විසින් ස්ථානීය පරීක්ෂණ පවත්වා සිරුර රාගම ශික්ෂණ රෝහල වෙත යොමු කරන ලදී. එහිදී සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණය වී ඇත්තේ දරුවාගේ උදර ප්‍රදේශයට මොට ආයුධයකින් එල්ල කළ ප්‍රබල පහරක් හේතුවෙන් හෘදයේ පැළීම් ඇතිවී මෙම මරණය සිදුවී ඇති බවයි. සිද්ධිය සම්බන්ධයෙන් මීගහවත්ත පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
