කිරිඳිවැල, හිස්වැල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි 79 හැවිරිදි එක්දරු මවක දූෂණය කර, ගෙල සිරකර ඝාතනය කිරීමේ ප්‍රධාන සැකකරු දින 38ක දීර්ඝ විමර්ශනයකින් පසු පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ. 67 හැවිරිදි මෙම සැකකරු විසින් වයෝවෘද්ධ කාන්තාව ඝාතනය කර ඇත්තේ ඇගේ කන් කපා පැළඳ සිටි රන් කරාබු යුවළ කොල්ලකෑමේ අරමුණින් බව අනාවරණය වී ඇත.
ඉකුත් මාර්තු මස 18 වනදා සිදුවූ මෙම අමානුෂික ඝාතනය සම්බන්ධයෙන් සැකකරු පෙරේදා (26) දින අත්අඩංගුවට ගත් බව කිරිඳිවැල පොලිසිය සඳහන් කරයි.
සැකකරුගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලදී ඝාතනයට යොදාගත් උල් පිහිය සහ එම අවස්ථාවේ ඔහු හැඳ සිටි ඇඳුම් සොයා ගැනීමට පොලිසිය සමත් වී ඇත. මේවා කිරිමැටියවත්ත ප්‍රදේශයේ පිහිටි සැකකරුගේ සහෝදරියකගේ නිවසේ සඟවා තිබියදී පොලිසිය විසින් සොයා ගන්නා ලදී. මියගිය ආර්. ඩී. තිලකා මාලනී ජයරත්න නමැති වයෝවෘද්ධ කාන්තාව නිවසේ තනිව සිටි අවස්ථාවක මෙම අපරාධය සිදුකර ඇති අතර, සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
