අනුරාධපුර සිට කොළඹ බලා ධාවනය වූ බස් රථයක ගමන් කරමින් සිටි කාන්තාවන් තිදෙනෙකුට මත්ද්‍රව්‍ය මිශ්‍ර ආහාර ලබා දී, ඔවුන් සිහිසුන් කර රුපියල් දහහත් ලක්ෂයකට අධික වටිනාකමකින් යුත් මුදල් සහ රන් භාණ්ඩ කොල්ලකෑ 54 හැවිරිදි පුද්ගලයෙකු අනුරාධපුර පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඉකුත් අප්‍රේල් 02 වැනිදා රාත්‍රියේ සිදුවූ මෙම අපරාධය සම්බන්ධයෙන් සිදුකළ දීර්ඝ විමර්ශනයකින් අනතුරුව, සාලියවැව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන මෙම සැකකරු පණ්ඩුලගම ප්‍රදේශයේදී මෙලෙස නීතියේ රැහැනට කොටුකර ගෙන ඇත.
පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, අදාළ බස් රථයේ ගමන් කරමින් සිටි මෙම සැකකරු ඉතා සූක්ෂම ලෙස එම කාන්තාවන් තිදෙනා සමඟ මිතුරු වී ඔවුන්ට කෙටි ආහාර සහ බීම වර්ගයක් ලබා දී ඇති බවයි. එම මත්ද්‍රව්‍ය මිශ්‍ර ආහාර අනුභව කිරීමෙන් පසු කාන්තාවන් තිදෙනාට සිහිය අහිමි වී ඇති අතර, එම අවස්ථාවෙන් ප්‍රයෝජන ගත් සැකකරු ඔවුන් සතුව තිබූ රුපියල් 1,706,400ක් වටිනා මුදල් සහ දේපළ කොල්ලකා පළාගොස් තිබේ.
මෙම භයානක සිදුවීම පදනම් කරගනිමින් පොලිස් මූලස්ථානය මහජනතාව වෙත විශේෂ නිවේදනයක් ද නිකුත් කර ඇත. බස් රථ සහ දුම්රිය වැනි පොදු ප්‍රවාහන සේවාවල ගමන් කිරීමේදී හමුවන නාඳුනන පුද්ගලයන් සමඟ අනවශ්‍ය ලෙස හිතවත්කම් ඇති කර ගැනීමෙන් වළකින ලෙසත්, කිසිදු විටෙක එවැනි පුද්ගලයන් ලබාදෙන ආහාර හෝ පාන වර්ග ලබාගැනීමේදී දැඩි ලෙස විමසිලිමත්ව සහ බුද්ධිමත්ව කටයුතු කරන ලෙසත් පොලීසිය ජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියි.
