gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line

මහමග ඇදගෙනයමින් ගොකරැල්ලේ මවට සිදු කළ අමානුෂික පහරදීම - පුතා ඇතුළු ඥාතීන් අත්අඩංගුවට!

මවකට සෙවණ දිය යුතු ස්වකීය පවුලම ඇයට එරෙහිව මහමඟදී ම්ලේච්ඡ ලෙස හැසිරෙන්නේ නම්, සමාජයක් ලෙස අප ගමන් කරමින් සිටින්නේ කොතැනකටද? පසුගිය 16 වැනිදා ගොකරැල්ල, මැදලන්ද ප්‍රදේශයේ මහමඟදී කාන්තාවකට කෲර ලෙස පහරදෙන අමානුෂික වීඩියෝවක් සමාජ මාධ්‍ය හරහා වේගයෙන් සංසරණය වීමත් සමඟ මේ කම්පන සහගත පුවත කරළියට පැමිණියේය.

සිද්ධිය සම්බන්ධයෙන් වහාම ක්‍රියාත්මක වූ ගොකරැල්ල පොලිසිය, ප්‍රදේශයෙන් පළාගොස් සිටි සැකකරුවන් නව දෙනෙකු පසුගිය ඉරිදා (19) අත්අඩංගුවට ගත් අතර, ඒ අතර ඇයගේම ලේ ඥාතීන් පිරිසක්ද වීම සමස්ත සමාජයම දැඩි කම්පනයකට පත් කරන්නකි.

සිද්ධියට මුහුණ දුන් මවගේ කඳුළු පිරි වදන් අපට කියාපාන්නේ බිහිසුණු ඛේදවාචකයකි. මාධ්‍ය වෙත ඇය පැවසූ පරිදි, අලුත් අවුරුදු සාදයකට සහභාගී වී යළි නිවස බලා එමින් සිටි ඔවුන්ගේ ගමනට හරස් කැපුවේ ඇයගේම නැගණියගේ පුත්‍රයාය. ඔහු හිතාමතාම මෝටර් රථය ඉදිරිපසට පැන එය නතර කළ සැණින්, යකඩ පොලු සහ කඩු අතැතිව පැමිණි පිරිසක් ඔවුන්ට අමානුෂික ලෙස පහරදීම ආරම්භ කර තිබුණි. එහිදී ඇයට සිදුවූ දරුණුතම වේදනාව ශාරීරික තුවාල පමණක් නොවේ; තමන් දස මසක් කුස දරා පෝෂණය කළ තම ලොකු පුතාම කොණ්ඩයෙන් ඇදගෙන ගොස් මහමඟ දිගේ ඇද දමමින් පහරදීම ඇගේ හදවත කැබලි වලට ඉරා දමන්නක් විය. ඊට අමතරව රතු පැහැති කමිසයකින් සැරසී සිටි නැගණියගේ සැමියාද පොල්ලක් රැගෙන විත් ඇයට සහ ඇගේ සැමියාට මෙන්ම මෝටර් රථයේ සිටි අනෙක් දියණියටද වාහනයෙන් පිටතට ඇද දමමින් අමානුෂික ලෙස පහරදුන් බව ඇය වැඩිදුරටත් හෙළි කළාය.

මෙම පවුල් ආරවුලේදී ඥාතීන් සහ පුතා එක්ව මෙලෙස මවකට පාරේදී පහරදීම අතිශයින්ම අසාමාන්‍ය මෙන්ම ඛේදනීය තත්ත්වයකි. පොලිස් මූලික විමර්ශනවලට අනුව මෙම ගැටුමට මුල් වී ඇත්තේ පවුලේ ඥාතීන් අතර කලක සිට පැවති ආරවුලකි. එහෙත්, තම මවට මෙතරම් පහත් අන්දමින්, සාහසික ලෙස පහරදීමට තරම් ඇය අතින් සිදුවූවා යැයි කියන වරද හෝ අනර්ථකාරී හැසිරීම කුමක්ද යන්න මෙතෙක් කිසිවෙකුත් අනාවරණය කර නැත. ස්වර්ණවාහිනී නාලිකාව ඇමතූ මව මෙසේ පවසා තිබුණි. 

"අපි අවුරුදු සාදයකට ගියා. ඒවා ඉවර කරලා අපි ඉතින් ගෙදර ආවා. කෑම කාලා යන්න කියලා අපි පැය එකහමාරක් විතර එතන හිටියා, ඒකට ඉන්න ඕනි කියලා. ගෙදර එනකොට, මඟ එද්දී එයාලගේ ලොකු නංගිගේ පුතා ඉන්නවනේ, එයා තමයි කාර් එක ඉස්සරහට පැන්නේ. පාර මැදට පැන්නා. වාහනේ එනවා දැක්කත් එයා අයින් වුණේ නැහැ. පාරේ වාහනේ ඉස්සරහා, බොනට් එක ගාව හිටියා. අපේ මහත්තයා බ්‍රේක් කරලා වාහනේ නැවැත්තුවා විතරයි, එක පාරටම දඩිබිඩි ගාලා යකඩ පොලු, කඩු අරගෙන ඇවිත් අපිට ගහගෙන ගහගෙන ගියා.

මාව එළියට ඇදලා දාලා මට හොඳටම ගැහුවා. ලොකු පුතා මාව කොණ්ඩෙන් ඇදලා පහර දුන්නා. කොණ්ඩෙන් ඇදගෙන ගිහින් එයා මහත්තයාටත් ගැහුවා. මගේ අනිත් දුවත් වාහනේ ඇතුළේ හිටියා. පස්සේ එයාලා මොකද කරන්නේ, ආපහු වාහනේ හිටිය ඔක්කොම එළියට අරගෙන පාරේ ඇද ඇද මට අමානුෂිකව පහර දුන්නා.

මේවා ෆෝන් වල වීඩියෝ වෙලා තියෙනවා. මම මේ ගැන ගොකරැල්ල පොලිසියේ පැමිණිල්ලක් දැම්මා. එදිනම පොලිසියෙන් ඇවිත් රිපෝට් එකක් හැදුවා.

මට පහර දෙන්නේ ඔය ලොකු පුතා. ලොකු පුතා තමා කොණ්ඩෙන් ඇද ඇද මට ගැහුවේ. නංගිගේ මහත්තයා, රතු පාට ටී ෂර්ට් එකක් දාගෙන ඉන්න කෙනා, පොල්ලක් උස්සගෙන මට ගහන්න එනවා. මට ගහපු තරමක් ගැහුවේ එයාලා තමයි. එතකොට නංගිගේ මහත්තයයි, ලොකු පුතයි තමා මාව පාරේ ඇද ඇද මට පහර දුන්නේ. ගොඩක් අය එතන හිටියා."

පහරදීමෙන් බරපතළ තුවාල ලැබූ මව රෝහල්ගතව ප්‍රතිකාර ලැබීමෙන් පසු මේ වනවිට යථා තත්ත්වයට පත්වී නිවසට පැමිණ සිටියද, පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් පුළුල් පරීක්ෂණ ක්‍රියාත්මක කරමින් පවතී.

ශරීරයේ ඇතිවූ තුවාල කාලයත් සමඟ සුවපත් වනු ඇත; එහෙත්, මහමඟදී තම දරුවාගේම දෑතින් කෲර ලෙස ගුටිකෑමට සිදුවූ මවකගේ රුධිරය වැටුණු ඒ බිම, අපේ සමාජයේ පිරිහෙන මනුෂ්‍යත්වයේ සදාකාලික සාක්ෂියක් ලෙස ඉතිරිවනු නොඅනුමානය.

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka