වර්ෂ 1970 දී ඇපලෝ 13 යානය විසින් පිහිටුවන ලද පෘථිවියේ සිට වැඩිම දුරකට ගමන් කිරීමේ වාර්තාව බිඳ හෙළමින්, ආටෙමිස් II කණ්ඩායම ඊයේ රාත්‍රියේ (ශ්‍රී ලංකා වේලාවෙන් 11:26 ට) මානව අභ්‍යවකාශ ඉතිහාසයේ නව සටහනක් තැබීමට සමත් විය. ඒ අනුව, මින් පෙර පැවති සැතපුම් 248,655ක දුර සීමාව සාර්ථකව පසු කළ රීඩ් වයිස්මන්, වික්ටර් ග්ලෝවර්, ක්‍රිස්ටිනා කෝච් සහ ජෙරමි හැන්සන් යන සිව්දෙනා මේ වන විට මානව ඉතිහාසයේ පෘථිවියෙන් ඈතටම ගමන් කළ මිනිසුන් බවට නිල වශයෙන් පත් වී අවසන්ය.
මෙම සුවිශේෂී ජයග්‍රහණය සැමරීම සඳහා පාලන මැදිරියේ සිටින බ්‍රැන්ඩන් ලොයිඩ් ප්‍රමුඛ ඉංජිනේරු කණ්ඩායම විසින් ගගනගාමීන් වෙත පණිවිඩයක් යවනු ලැබූ අතර, එය මානව ඉතිහාසයේ වැඩිම දුරක සිට යැවූ දිගම විද්‍යුත් තැපෑල (Email) ලෙසද වාර්තා අතරට එක් විය. ඉන් අනතුරුව, අද අලුයම 12:15 ට පමණ යානයේ ඓතිහාසික චන්ද්‍ර නිරීක්ෂණ කාලසීමාව (Lunar Observation Period) ආරම්භ වූ අතර, ඒ යටතේ විද්‍යාඥයින්ට තවමත් අභිරහසක්ව පවතින 'රයිනර් ගැමා' (Reiner Gamma) නම් ආලෝකමත් කලාපය සහ සැතපුම් 500ක් දුරට විහිදෙන සුදු පැහැති රේඛා සහිත 'ග්ලූෂ්කෝ' (Glushko) ආවාටය නිරීක්ෂණය කිරීම ඔවුන්ගේ මූලික රාජකාරිය විය.
නාසා ආයතනය විසින් ලබා දී ඇති ඉලක්ක 30කින් යුත් ලැයිස්තුවට අනුව, ගගනගාමීන්ගේ ප්‍රධාන අවධානය යොමු වන්නේ ඕරියන්ටේල් (Orientale Basin) සහ හර්ට්ස්ප්‍රන්ග් (Hertzsprung Basin) යන යෝධ ආවාට ද්විත්වය වෙතය. වසර බිලියන 3.8කට පමණ පෙර දැවැන්ත ග්‍රහකයක් ගැටීමෙන් නිර්මාණය වී ඇති, සැතපුම් 600ක් පළල ඕරියන්ටේල් ආවාටය සඳෙහි ආලෝකමත් සහ අඳුරු පැති අතර මායිමේ පිහිටා ඇති අතර, සැතපුම් 400ක් පළල හර්ට්ස්ප්‍රන්ග් ආවාටය සඳෙහි අඳුරු පැත්තේ පිහිටා ඇත. මෙම ආවාට ද්විත්වය සංසන්දනාත්මකව අධ්‍යයනය කිරීම හරහා කාලයත් සමඟ චන්ද්‍ර භූ විෂමතාවයේ සිදු වූ වෙනස්කම් අවබෝධ කර ගැනීමට විද්‍යාඥයෝ අපේක්ෂා කරති.
යානය සඳ පිටුපසින් ගමන් කිරීම හේතුවෙන් අද අලුයම 4:14 සිට 4:55 දක්වා විනාඩි 40ක කාලයක් පෘථිවිය සහ ආටෙමිස් II යානය අතර සන්නිවේදන සබඳතා මුළුමනින්ම බිඳ වැටෙනු ඇති බව (Communications Blackout) නාසා ආයතනය කලින්ම නිවේදනය කර තිබුණි. එම කාලසීමාව තුළ සජීවී දර්ශන නැරඹීමේ හැකියාව පෘථිවි වාසීන්ට අහිමි වූවද, මානව ඉතිහාසයේ මෙම සුවිශේෂීම අභ්‍යවකාශ ගවේෂණයේ කටයුතු මේ වන විටත් නාසා ආයතනයේ පුර්ණ අධීක්ෂණය යටතේ ඉතා සාර්ථක අයුරින් ඉදිරියටම ක්‍රියාත්මක වෙමින් පවතී.
