මොණරාගල, කුඹුක්කන් ඔය ආශ්‍රිතව පවතින රුපියල් බිලියන 10ක් පමණ වටිනා මැණික් නිධියක් නීත්‍යනුකූලව කැණීම සඳහා වාරිමාර්ග දෙපාර්තමේන්තුව මෙතෙක් අවසර ලබා නොදීම හේතුවෙන් ජාතික සම්පතක් විනාශ වීමේ අවදානමක් මතුව ඇත.
මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය විසින් 2021 සහ 2024 වසරවලදී මේ සඳහා අවසර ඉල්ලා සිටියද, වාරිමාර්ග දෙපාර්තමේන්තුව එය ප්‍රතික්ෂේප කර ඇත්තේ පාරිසරික හෝ ව්‍යුහාත්මක බලපෑම් හේතු කොට ගනිමිනි. කෙසේ වෙතත්, රාජ්‍ය ආයතන දෙකක් අතර පවතින මෙම පරිපාලනමය ගැටලුව හේතුවෙන් රජයට හිමිවිය යුතු දැවැන්ත ආදායමක් අහිමි වෙමින් පවතින බව ජාතික විගණන කාර්යාලය පෙන්වා දෙයි.
නිල වශයෙන් කැණීම් කටයුතු අත්හිටුවා තිබුණද, එම ප්‍රදේශය පුරා මේ වන විටත් මහා පරිමාණයෙන් අනවසර මැණික් කැණීම් සිදුවන බව විගණන වාර්තා අනාවරණය කරයි. පසුගිය වසරේ පමණක් එම ප්‍රදේශයේ අනවසර කැණීම් වැටලීම් 38ක් සිදු කර තිබීමෙන්ම මෙම ජාවාරමේ බරපතළකම පැහැදිලි වන අතර, නීත්‍යනුකූල පාලනයක් නොමැති වීම නිසා හොර ජාවාරම්කරුවන් නිදහසේ ජාතික සම්පත් කොල්ලකමින් සිටියි.
එබැවින් මෙම වටිනා මැණික් සම්පත විධිමත් ක්‍රියාවලියක් යටතේ රජයට ලබාගැනීම සඳහා කඩිනම් වැඩපිළිවෙළක් සකස් කරන ලෙස විගණන අංශ අදාළ බලධාරීන්ට නිර්දේශ කර තිබේ.
