gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line

"සර්... සීගිරියට තීන්ත ගහලා!" - 1967 මූසල රාත්‍රියේ අපේම මිනිස්සුන්ගෙන් මැරුම් කෑ සීගිරි ළඳුන්ව, බදාම අස්සේ රහසක් හංගලා බේරාගත් ඉතාලි මිතුරාගේ කතාව!

1967 ඔක්තෝබර් 15 වෙනිදා උදේ පාන්දර කොළඹ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට හදිසි පණිවිඩයක් එනවා. "සර්, ඊයේ රෑ කවුරුහරි සීගිරි චිත්‍රවලට තීන්ත (Ink) ගහලා!"
ඒ කාලේ කොමසාරිස් වුණු ආචාර්ය ගොඩකුඹුර මහත්තයා, රසායනික සංරක්ෂණ අංශයේ හිටපු රාජා ද සිල්වා මහත්තයාට කියනවා ඉක්මනට ටීම් එකක් අරන් සීගිරියට යන්න කියලා. සිංහලෙන් "තීන්ත" කිව්වම පෑන් තීන්තවලටත් කියනවනේ. ඒ නිසා මේ නිලධාරීන් කණ්ඩායම සීගිරියට ගියේ "Ink Remover" කෙමිකල් ටිකක් අරගෙන.

හැබැයි ගල උඩට නැගපු ඒ අයට දැකගන්න ලැබුණේ හිතාගන්නවත් බැරි අපරාධයක්.
අපි පොඩි කාලේ ඉඳන් අහලා තියෙන්නේ "සීගිරියට තාර ගැහුවා" කියලනේ. ඒත් ඒක බොරුවක්.මේ ගහලා තිබුණේ පෑන් තීන්තවත්,   තාරවත්  නෙවෙයි, වාහනවලට ගාන තද කොළ පාට "එනමල් පේන්ට්" (Enamel Paint)! වැස්ස දවසක් නිසා මේ පේන්ට් තාම වේලි වේලි බේරෙනවා. මේවා පරණ බදාම එක ඇතුළටම උරා ගත්තම , ඒක යවන එක තාර යවනවට වඩා දාහක් අමාරු වැඩක්. ඊටත් වඩා භයානකම දේ තමයි, ගේට්ටු දෙකක් පැනලා ආපු මේ අපරාධකාරයෝ, චිත්‍ර ගැලරියට යන්න තිබුණු අන්තිම දොරේ ඉබි යතුරු කඩලා නෑ... ඒක යතුරකින් ඇරලා! .

විනාශය කොච්චරද කියනවා නම්, චිත්‍ර 19න් 14ක්ම කොළ පාට සායමෙන් වහලා දාලා. එතනින් නැවතුනේ නෑ... එක ළඳකගේ ඔළුව කොටස කඳෙන් වෙන් වෙන්නම කපලා දාලා. තව රූපයක පපුව හරියටම යකඩ කූරකින් ඇනලා "හදවතටම" පහර දීලා තිබුණා.
මේක ලංකාවට තනියම කරන්න පුළුවන් වැඩක් නෙවෙයි කියලා තේරුණාම, ආණ්ඩුව ජාත්‍යන්තර සහය ඉල්ලුවා. ඇමරිකාවේ "ස්මිත්සෝනියන්" (Smithsonian) ආයතනය කිව්වා "අපි වියදම දරන්නම්, හොඳම කෙනා ගෙන්නන්න" කියලා. අන්න එහෙමයි අපේ කතා නායකයා, ඉතාලි ජාතික ලූසියානෝ මරන්සි (Luciano Maranzi) ලංකාවට එන්නේ.

මරන්සි ඇවිත් රාජා ද සිල්වා මහත්තයත් එක්ක එකතු වෙලා පටන් ගත්තේ යුද්ධයක්. "Decapex" සහ "Trilene" වගේ සැර කෙමිකල් පාවිච්චි කරලා, පුළුන් කෑලි වලින් මිලිමීටරෙන් මිලිමීටරේ මේ පේන්ට් තට්ටුව අයින් කළා. මේක කොච්චර සියුම් වැඩක්ද කියනවා නම්, යට තියෙන අවුරුදු 1500ක් පරණ ඔරිජිනල් චිත්‍රෙට පොඩි හරි හානියක් වුණා නම් අද සීගිරියක් නෑ.

බදාම අස්සේ හැංගූ රහස 

මේ ප්‍රතිසංස්කරණය අතරතුර මරන්සි අපූරු වැඩක් කළා. විනාශ කරපු චිත්‍රයක් (B5) ආපහු හදන්න අලුතින් බදාම පුරවද්දී, එයා ඒ බදාම අස්සේ කාටවත් නොපෙනෙන්න කාසි දෙකක්  හැංගුවා! ඒ කාසිවල මරන්සිගේ නමයි, රාජා ද සිල්වා මහත්තයාගේ නමයි කෙටුවා. කවදාහරි දවසක ආපහු මේක කැඩුනොත් විතරක් ලෝකෙට දකින්න ලැබෙන්න එයා ඒ පොඩි "Time Capsule" එක බිත්තිය ඇතුළේ තැන්පත් කළා.

 එයා උදේ ඉඳන් රෑ කළුවර වැටෙනකම් අඩි 200ක් උඩ මැස්සක එල්ලිලා මේ වැඩේ කළා. වැස්ස, අව්ව, හුළඟ මුකුත් එයාට අදාළ වුණේ නෑ. මිලිමීටරෙන් මිලිමීටරේ එයා අර තීන්ත තට්ටුව ගලවලා දැම්මා. කැඩුණු තැන්වලට ඉතාලියෙන් ගෙනාපු විශේෂ බදාම පුරවලා චිත්‍ර ආපහු ගොඩ දැම්මා.

මාස 06ක්!  ඔව්, මාස 06ක් තිස්සේ මේ ඉතාලි ජාතිකයා අපේ රටේ උරුමය බේරගන්න තමන්ගේ කාලය, ශ්‍රමය කැප කළා. අපේම පිරිසක් අපේ උරුමයට පැනලා පිහියෙන් ඇනලා මරලා දාද්දි, පිට රටක ඉඳන් ආපු මේ මනුස්සයා ඒකට ආපහු පණ දුන්නා. 1968 අප්‍රේල් මාසේ වැඩේ ඉවර කරලා එයා යද්දි, විනාශ වුණු චිත්‍ර 14ක් ආපහු බේරගෙන තිබුණා.
2007 සැප්තැම්බර් මාසේ ලූසියානෝ මරන්සි මේ ලෝකෙන් සමුගත්තා. එදා ඒ විනාශය කරපු අයව නීතියෙන් හරියට කොටු කරගන්න බැරි වුණාට , මරන්සි කරපු ඒ උතුම් වැඩේ නිසා අදටත් අපි සීගිරිය දිහා බලලා සතුටු වෙනවා.

ඊළඟ පාර ඔයාලා සීගිරි ගල නගිද්දි, නිකම්ම ෆොටෝ එකක් ගහලා එන්න එපා. ඒ චිත්‍ර දිහා බලලා එක තත්පරයක් හිතන්න... "මේ හිනාව අපිට ඉතුරු කරලා දෙන්න එක ඉතාලි ජාතිකයෙක් කොච්චර කැපකිරීමක් කළාද" කියලා.

කලාවට ජාතියක් නෑ... මරන්සි කියන්නේ ඒ මනුස්සකමේ උතුම්ම නම! 
අපේ රටේ උරුමය රැකගන්න අපේ රටට මේ වගේ උදව්වක් කරපු ඒ උතුම් මනුස්සයා ගැන ඔයාලට මොකද හිතෙන්නේ? 

(තොරතුරු මූලාශ්‍රය: හිටපු පුරාවිද්‍යා කොමසාරිස් රාජා ද සිල්වා මහතාගේ වාර්තා ඇසුරෙනි)

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka