බොරැල්ල ප්‍රදේශයේ ඉඩමකට අදාළව ව්‍යාජ ඔප්පු සකස් කිරීමේ චෝදනාවට වරදකාරිය වූ රේණුකා ප්‍රියදර්ශනී නැමති නීතිඥවරියකට කොළඹ මහාධිකරණය විසින් වසර 06ක බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම කර තිබේ.
කොළඹ මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න මෙනවිය විසින් ඊයේ (05) මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළ අතර, මීට වසර 16කට පමණ පෙර එනම් 2010 ජනවාරි 22 වැනිදාට ආසන්න දිනකදී මෙම ව්‍යාජ ලේඛන සකස් කර ඇති බවට පැමිණිලි පාර්ශ්වය විසින් සැකයකින් තොරව අධිකරණය හමුවේ ඔප්පු කර ඇති බව එහිදී අවධාරණය කෙරිණි.
නීතිපතිවරයා විසින් ගොනු කර තිබූ අධිචෝදනා පත්‍රයේ සඳහන් චෝදනා දෙකකට ඇය මෙලෙස වරදකාරිය වූ අතර, ඒ අනුව එක් චෝදනාවකට වසර 06 බැගින් වසර 12ක සිරදඬුවමක් නියම කෙරිණි.
එහෙත් එම දඬුවම් කාලය එකවිට ගෙවී යන පරිදි ක්‍රියාත්මක කිරීමට විනිසුරුවරිය නියෝග කළ බැවින් ඇයට ප්‍රායෝගිකව විඳීමට සිදුවන්නේ වසර 06ක සිරදඬුවමකි. දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව ලබාදුන් මෙම තීන්දුව සම්බන්ධයෙන් අදහස් දක්වන අධිකරණ ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ, නීතිය සුරැකීමට බැඳී සිටින වෘත්තිකයන් මෙවැනි දේපළ වංචාවන්ට සම්බන්ධ වීම නීති ක්ෂේත්‍රය පිළිබඳ විශ්වාසය පළුදු කරන බරපතළ තත්ත්වයක් බවයි.
