හොරණ, බොරළුගොඩ ප්‍රදේශයේදී ඊයේ (24) අලුයම තම බීමත් සැමියාව කණුවක ගැටගසා ඉදලකින් අමානුෂික ලෙස පහර දී ඝාතනය කිරීමේ චෝදනාව මත ඔහුගේ බිරිඳ සහ අසල්වැසි කාන්තාවක් හොරණ මූලස්ථාන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 32 හැවිරිදි බේකරි සේවකයෙකු වන අත්තනායක මුදියන්සේලාගේ ගාමිණී පද්මකුමාර නැමැති අයෙකි. පොලිස් විමර්ශනවලට අනුව, අද අලුයම 1.00 ට පමණ අධික ලෙස බීමත්ව අසල්වැසි නිවසකට ගොස් එහි දොරට තට්ටු කර ඇති මෙම පුද්ගලයාගේ ක්‍රියාකලාපය පිළිබඳව අදාළ නිවසේ සිටි කාන්තාව විසින් ඔහුගේ බිරිඳට දැනුම් දී තිබේ.
එම දැනුම්දීමත් සමඟ වහාම අදාළ ස්ථානයට පැමිණ ඇති බිරිඳ තම සැමියාගේ දෑත් රෙදි පටියකින් ඉස්තෝප්පු කණුවක ගැටගසා ඔහුට ඉදලක් කැඩී යන තුරුම දැඩි ලෙස පහර දී ඇත. පහර කෑමෙන් පසු ඔහු නිසොල්මන් වීම හේතුවෙන් බියට පත් බිරිඳ රෙදි පටි කපා දමා ඇති අතර, පොලිසිය එම ස්ථානයට පැමිණෙන විටත් ඔහු මියගොස් සිටි බව තහවුරු වී තිබේ. අත්අඩංගුවට ගත් සැකකාරියන් දෙදෙනා හොරණ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර, මෘත දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය අද දින සිදුකිරීමට නියමිතව ඇත. සිද්ධිය සම්බන්ධයෙන් හොරණ මූලස්ථාන පොලිසිය මේ වන විටත් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරයි.
