බස්නාහිර පළාතේ ග්‍රාම නිලධාරීවරයෙකු විසින් රාජකාරී අවශ්‍යතාවක් සඳහා සිය කාර්යාලයට පැමිණි 27 හැවිරිදි කාන්තාවකට අපයෝජනයක් කිරීමට උත්සාහ කළ බවට ප්‍රාදේශීය ලේකම්වරයා වෙත පැමිණිල්ලක් ඉදිරිපත්වී තිබේ. අදාළ කාන්තාව ග්‍රාම නිලධාරීවරයාගේ ආරාධනයෙන් ඔහු ඉදිරිපිට අසුන්ගෙන සිය පැමිණි කාරණය පවසමින් සිටියදී, ඔහු ඇයව ස්පර්ශ කිරීමට උත්සාහ කර ඇති බව පැවසේ. එහිදී දැඩි අපහසුතාවයට හා බියට පත් වූ ඇය වහාම කාර්යාලයෙන් ඉවතට පැනගොස් අදාළ බල ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම්වරයා වෙත මෙම පැමිණිල්ල සිදුකර ඇත.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අදාළ ප්‍රාදේශීය ලේකම්වරයා විසින් පසුගිය 19 වනදා චෝදනාවට ලක්වූ ග්‍රාම නිලධාරීවරයා සහ පැමිණිලිකාරිය කැඳවා විභාගයක් පවත්වා තිබේ. එහිදී නිදහසට කරුණු දක්වා ඇති ග්‍රාම නිලධාරීවරයා ප්‍රකාශ කර ඇත්තේ, තමා පෙළෙන කිසියම් රෝගී තත්ත්වයක් හේතුවෙන් සිය කකුල ඉබේම ඉහළට එසවෙන්නට ඇති බවත්, එවැන්නක් සිදුවූයේ නම් ඒ පිළිබඳව දැඩි ලෙස කනගාටු වන බවත්ය. ඔහු විසින් කාන්තාවගෙන් එලෙස සමාව අයැද සිටීමත් සමඟ, ප්‍රශ්නය තවදුරටත් දුරදිග ගෙන යාමට අකමැත්ත පළකළ පැමිණිලිකාරිය මෙම සිද්ධිය සමථයකට පත්කර ගැනීමට එහිදී එකඟතාවය පළ කර ඇත.
