අද වැනි වැසි බර දිනයක, කොළඹ සිට ධාවනය වූ දුම්රියක් තුළදී කාගේත් නෙතට කඳුළක් සහ හදවතට ලොකු පාඩමක් ඉගැන්වූ අපූරු සිදුවීමක් වාර්තා වුණා.
මේ කතාව අපේ සමාජයේ පෙනුමට පමණක් රැවටෙන මිනිසුන්ගේ ඇස් ඇරවීමට සමත් වනු නොඅනුමානයි.
වැස්ස නිසා දුම්රියේ එක පෙට්ටියක ජනේලයක් මඳක් විවෘත වී තිබුණා. එතැන අසුන්ගෙන සිටියේ කමිස ඇඳ යට කර, සපත්තු දමා ඉතා පිළිවෙළට සිටි, සමාජයේ අප "මහත්තුරු" ලෙස හඳුන්වන පිරිසක්. වැස්සට සීට් එක තෙමෙද්දීත්, ජනේලය වසා දැමීමටවත් උනන්දු නොවූ මේ පිරිස, තමන්ගේ ගමනාන්තය පැමිණි විට තෙත බරිත වූ අසුන එලෙසම තබා බැස ගියේ ඊළඟට එන මනුස්සයා ගැන පොඩ්ඩක්වත් හිතන්නේ නැතිවයි.
මඳ වේලාවකින් ඒ අසුන අසලට පැමිණියේ ටී-ෂර්ට් එකක් සහ කොට කලිසමක් ඇඳ, බාටා දමා, කොණ්ඩය වවා හිසට ස්කාෆ් එකක් බැඳ සිටි මඳක් කළු පැහැති පුද්ගලයෙක්. සමාජයේ සම්මතයට අනුව නම් බොහෝ දෙනා ඔහු දෙස බලන්නේ "රස්තියාදුකාරයෙක්" යන සැක සහිත බැල්මෙන්.
නමුත් එතැනදී සිදුවූයේ කිසිවෙකුත් බලාපොරොත්තු නොවූ දෙයක්. ඔහු වහාම විවෘතව තිබූ ජනේලය වසා දැමුවා. එපමණකින් නොනැවතුණු ඔහු, තම හිසේ බැඳ තිබූ පිරිසිදු ලේන්සුව ගලවා, තෙත බරිත වී තිබූ අසුන වතුර බින්දුවක්වත් නැති වන සේ ඉතා ඕනෑකමින් පිස දැමුවා. අසුන පිරිසිදු කළ ඔහු, එහි වාඩි නොවී මඳ සිනහවක් පා නැගිට යන්නට ගියේ මනුස්සකමේ නියම අර්ථය "මහත්වරුන්ට" පෙන්වා දෙමින්.
යට කරලා සපත්තු දාන හැමෝම මහත්තුරු නොවන බවත්, රස්තියාදුකාර පෙනුමක් ඇති මිනිසුන් තුළ පවා රත්තරන් හදවත් ඇති බවත් මේ සිදුවීමෙන් මොනවට පැහැදිලි වෙනවා. ඇඳුමෙන් මිනිසුන් මැනීම කොතරම් අඥානද යන්නට මෙය හොඳම උදාහරණයකි.
