gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line

දකුණු කොරියාවේ මනාලයන් හා කසාද බන්දවන්න ශ්‍රී ලංකාවේ මනාලියන් ‍ආනයනය කිරීමේ යෝජනාව ආන්දෝලනයට!

දකුණු කොරියාවේ ජනගහනය ශීඝ්‍රයෙන් පහළ යාමේ අර්බුදයට විසඳුමක් ලෙස ශ්‍රී ලංකාව සහ වියට්නාමය වැනි රටවලින් තරුණියන් 'ආනයනය' කළ යුතු බවට දකුණු ජොල්ලා පළාතේ ජින්දෝ (Jindo) ප්‍රාන්තයේ නගරාධිපති කිම් හී-සූ (Kim Hee-soo) සිදු කළ ප්‍රකාශයක් මේ වන විට දැඩි ආන්දෝලනයකට තුඩු දී තිබේ. 

පසුගිය 4 වැනිදා දකුණු කොරියාවේ හේනම් සංස්කෘතික කලා මධ්‍යස්ථානයේදී පැවති නගර සභා රැස්වීමක් අතරතුරදී නගරාධිපතිවරයා මෙම අදහස ඉදිරිපත් කර ඇති අතර, ග්වාන්ජු සහ දකුණු ජොල්ලා පළාත් පරිපාලන ඒකාබද්ධ කිරීම පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා මෙම රැස්වීම සංවිධානය කර තිබුණි.

රට පුරා ජනගහනය අඩු වෙමින් පවතින ප්‍රදේශවලින් 20%ක්ම තම පළාතේ පිහිටා ඇති බව පෙන්වා දුන් නගරාධිපතිවරයා, මෙම අර්බුදය විසඳීම සඳහා වහාම ව්‍යවස්ථාදායක පියවර ගත යුතු බව අවධාරණය කළේය. 2000 දශකයේ සිටම ජනගහනය අඩු වීම පිළිබඳ අනාවැකි පළ වී තිබුණද රජය, විද්වතුන් සහ බලධාරීන් ඊට නිසි විසඳුම් ලබා දීමට අපොහොසත් වී ඇති බවට ඔහු චෝදනා කළ අතර, පවතින තත්ත්වය හමුවේ නගර සහ ප්‍රාන්තවලට තනිවම මෙම ගැටලුවෙන් ගොඩ ඒමට නොහැකි බවත් ඔහු පවසා සිටියේය.

මෙහිදී වඩාත් කතාබහට ලක්වූ කරුණ වූයේ ග්වාන්ජු සහ දකුණු ජොල්ලා ඒකාබද්ධ කිරීමේදී ජනගහන අඩුවීමට එරෙහි පියවර නීතිගත කළ යුතු බවත්, අනෙක් සියලු ක්‍රම අසාර්ථක වුවහොත් ශ්‍රී ලංකාවෙන් හෝ වියට්නාමයෙන් තරුණියන් ගෙන්වා ග්‍රාමීය අවිවාහක පිරිමින් සමඟ විවාහ කර දීමට විශේෂ වැඩපිළිවෙළක් සකස් කළ යුතු බවටත් ඔහු කළ යෝජනාවයි. මිනිසුන් නොමැතිව කර්මාන්ත පවත්වාගෙන යන්නේ කෙසේදැයි ඔහු ප්‍රශ්න කළ අතර, 'තරුණියන් ආනයනය කිරීම' පිළිබඳ මෙම ප්‍රකාශයත් සමඟ රැස්වීම් ශාලාව තුළ සිනා හඬක් ද නැගී තිබේ.

කෙසේ වෙතත්, මෙම ප්‍රකාශයට ප්‍රතිචාර දැක්වූ ග්වාන්ජු නගරාධිපති කන්ග් ගි-ජුන්ග් (Kang Gi-jung) ඊට දැඩි විරෝධය පළ කරමින් අත වනා එම අදහස ප්‍රතික්ෂේප කර ඇත. විවාහය සඳහා විදේශිකයන් ගෙන්වා ගැනීමේ අදහස වැරදි සහගත බව පෙන්වා දුන් ඔහු, උපත් අනුපාතය සහ ජනගහනය වැඩි කළ හැක්කේ කලාපය තුළ කර්මාන්ත ස්ථාපිත කිරීමෙන් පමණක් බව අවධාරණය කළේය. දශක ගණනාවක් තිස්සේ ආයෝජන සිදු කළද අපේක්ෂිත ප්‍රතිඵල නොලැබුණු බවත්, කර්මාන්ත දියුණු කිරීම හැර වෙනත් විකල්පයක් නොමැති බවත් ඔහු පෙන්වා දුන්නේය.

ග්‍රාමීය ජනගහනය අඩුවීම විසඳීමට කර්මාන්ත ඒකාබද්ධ කිරීම පමණක් ප්‍රමාණවත් නොවන බව පෙන්වා දීමට උත්සාහ කළද, විදේශික කාන්තාවන් 'ආනයනය' කළ යුතු භාණ්ඩ ලෙස හුවා දැක්වීම සහ නිශ්චිත රටවල් නම් කිරීම සම්බන්ධයෙන් බොහෝ පිරිසකගේ විවේචන එල්ල වී තිබේ. මෙම ප්‍රකාශය තුළින් බහුසංස්කෘතික, මානව හිමිකම් සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ සංවේදීතාවක් නොමැති බවත්, විදේශිකයන් හුදෙක් ශ්‍රමිකයන් හෝ විවාහ අපේක්ෂකයන් ලෙස පමණක් දකින ආකල්පයක් ඉන් පිළිබිඹු වන බවත් රැස්වීමට සහභාගී වූවන් ප්‍රකාශ කර ඇත.

(chosun වෙබ් අඩවි පුවත් වාර්තාව ඇසුරිනි)

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka