තම බිරිඳට අමානුෂික ලෙස වධහිංසා පමුණුවමින් කෲර ලිංගික හිංසනයකට ලක් කිරීමේ චෝදනාව මත රක්ෂිත බන්ධනාගාරගතව සිට ඇප මත මුදා හැරිය නාවික හමුදා සෙබළෙකු විසින් ඇයව ඝාතනය කර සිරුරට ගිනි තැබීමේ අතිශය ඛේදනීය පුවතක් අනුරාධපුර, පරසන්ගස්වැව ප්‍රදේශයෙන් වාර්තා වේ. 41 හැවිරිදි තම බිරිඳව ගසක බැඳ, මිරිස් කුඩු ගසා, පොල් මලක් යොදාගෙන ලිංගික හිංසනයට ලක් කිරීමේ චෝදනාවට මාසයකට අධික කාලයක් රිමාන්ඩ් භාරයේ පසුවූ මෙම 39 හැවිරිදි සැකකරු, පසුගිය 09 වනදා දැඩි ඇප කොන්දේසි මත නිදහස් වී දින කිහිපයකට පසු මෙලෙස ඇයගේ ගෙළ සිරකර ඝාතනය කර පලාගොස් ඇත.
මෙම කෲර අපරාධයෙන් අනතුරුව අධිකරණය සහ පොලිසිය මගහරිමින් දින 11ක කාලයක් සැඟවී සිටි සැකකරුට එරෙහිව අධිකරණය විසින් විදෙස් ගමන් තහනමක් ද පනවා තිබූ අතර, ආරක්ෂක අංශ ඔහුව සෙවීමේ මෙහෙයුම් දියත් කර තිබියදී ඔහු නීතිඥවරයෙකු මාර්ගයෙන් පරසන්ගස්වැව පොලිසියට භාර වී තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත් ඩී.එල්. සමරසිංහ මහත්මිය, වැඩිදුර විමර්ශන කටයුතු සඳහා සැකකාර නාවික සෙබළාව පැය 48ක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට පොලිසියට අවසර ලබා දී ඇත.

