නිකවැරටිය ප්‍රදේශයේ ප්‍රධාන පෙළේ පාසලක 14 සහ 15 හැවිරිදි සිසුවියන් තිදෙනෙකුගේ ඡායාරූප කෘත්‍රීම බුද්ධි තාක්ෂණය (AI) භාවිතයෙන් අසභ්‍ය අයුරින් විකෘති කළ බව කියන සිසුවෙකුට සහ එම සිද්ධිය වසන් කිරීමට කටයුතු කළ විදුහල්පතිවරයාට එරෙහිව නිකවැරටිය මහේස්ත්‍රාත් අධිකරණයේදී ඊයේ (26) චෝදනා ගොනු කරනු ලැබීය.
අදාළ සිසුවා සතුව තිබූ විකෘති කළ ඡායාරූප අඩංගු ජංගම දුරකථනය විදුහල්පතිවරයා විසින් සිය භාරයට ගෙන ඇති අතර, ඒ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන ආයතන හෝ පොලිසිය දැනුවත් නොකර මාසයකට අධික කාලයක් එය තමා සතුව තබාගැනීම හරහා අදාළ විදුහල්පතිවරයා මෙම බරපතළ වරද යටපත් කිරීමට උත්සාහ දරා ඇති බවට අධිකරණයට කරුණු වාර්තා වී ඇත.
මෙම නඩුව අද දින කැඳවූ අවස්ථාවේදී සැකකරුවන්ට අදාළ චෝදනා පත්‍ර භාරදීම සිදු කෙරුණු අතර, නිකවැරටිය මහේස්ත්‍රාත් චාන්දන ලියනගේ මහතාගේ නියෝගය පරිදි නඩුව ලබන මස 12 වැනිදා යළි විභාගයට ගැනීමට නියමිතව තිබේ. එදිනට අදාළ සාක්ෂිකරුවන්ට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට මහේස්ත්‍රාත්වරයා විසින් වැඩිදුරටත් නියෝග කර ඇත. නව තාක්ෂණය අවභාවිත කිරීමේ භයානකකම සහ දරුවන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් වගකිවයුත්තන් තම රාජකාරිය නිසි පරිදි ඉටු නොකිරීමේ ප්‍රතිවිපාක පිළිබඳව මෙය සමස්ත සමාජයටම ලබාදෙන ප්‍රබල පණිවිඩයකි.
