gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line

වෙනිසියුලා විපක්‍ෂ නායිකාව තම නොබෙල් තෑග්ග ට‍්‍රම්ප්ට දෙයි

වෙනිසියුලානු විපක්ෂ නායිකා සහ නොබෙල් සාම ත්‍යාගලාභී මාරියා කොරිනා මචාඩෝ, ධවල මන්දිරයේදී අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හමුවී තමන්ට හිමිවූ නොබෙල් සාම ත්‍යාග පදක්කම ඔහු වෙත පිළිගන්වා තිබේ. 

දෙදෙනා අතර මුහුණට මුහුණ හමුවීමක් සිදුවූ පළමු අවස්ථාව මෙය වන අතර, වෙනිසියුලානු වැසියන්ට මෙය ඓතිහාසික දිනයක් බව මචාඩෝ එහිදී ප්‍රකාශ කළාය.

අමෙරිකානු හමුදා විසින් වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මදුරෝ අත්අඩංගුවට ගෙන මත්ද්‍රව්‍ය ජාවාරම් චෝදනා එල්ල කිරීමෙන් සති කිහිපයකට පසු මෙම හමුව සිදුවිය. 

තම රටේ නිදහස වෙනුවෙන් ට්‍රම්ප් දක්වන සුවිශේෂී කැපවීම අගය කිරීමක් ලෙස මෙම පදක්කම පිරිනැමූ බව මචාඩෝ මාධ්‍ය වෙත පැවසුවාය.

මීට වසර 200කට පෙර අමෙරිකානු විප්ලවීය යුද්ධයේදී සටන් කළ මාර්කේ ද ලාෆයෙට් විසින් වෙනිසියුලාවේ නිර්මාතෘවරයෙකු වූ සයිමන් බොලිවර් වෙත ජෝර්ජ් වොෂින්ටන්ගේ රුව සහිත පදක්කමක් පිරිනැමීමේ ඓතිහාසික සිදුවීම මචාඩෝ මෙහිදී සිහිපත් කළාය. 

"එදා මෙන්ම අදත් බොලිවර්ගේ ජනතාව වොෂින්ටන්ගේ උරුමක්කාරයා වෙත මෙම නොබෙල් පදක්කම පිරිනමන්නේ කෲර පාලනයට එරෙහි සහෝදරත්වයේ සංකේතයක් ලෙසයි," ඇය වැඩිදුරටත් සඳහන් කළාය.

කෙසේ වෙතත්, මෙම පදක්කම පිරිනැමීම සම්බන්ධයෙන් නොබෙල් කමිටුව සිය ස්ථාවරය පැහැදිලි කර ඇත. නොබෙල් ත්‍යාගයක් ප්‍රකාශයට පත් කළ පසු එය වෙනත් අයෙකුට පැවරිය නොහැකි බවත්, එම තීරණය අවසාන තීරණයක් බවත් කමිටුව අවධාරණය කළේය. 

පදක්කමක අයිතිය මාරු විය හැකි වුවද "නොබෙල් සම්මානලාභී" යන නාමය කිසිසේත් පැවරිය නොහැකි බව නොබෙල් සාම මධ්‍යස්ථානය ප්‍රකාශ කර ඇත.

මචාඩෝගේ මෙම ක්‍රියාව ට්‍රම්ප් විසින් "ගෞරවනීය හැඟීමක්" ලෙස අගය කළද, ඔහු තවමත් ඇයව වෙනිසියුලාවේ නිල නායිකාව ලෙස පිළිගෙන නොමැත. 

ජනාධිපති ට්‍රම්ප් දැනට කටයුතු කරමින් සිටින්නේ මදුරෝ පාලනයේ හිටපු උප ජනාධිපතිනිය සහ වත්මන් වැඩබලන රාජ්‍ය නායිකා ඩෙල්සි රොඩ්රිගස් සමඟය. 

මචාඩෝට රට තුළ ප්‍රමාණවත් සහයෝගයක් නොමැති බව පවසමින් ඇයව පාලනයට පත්කිරීමට ට්‍රම්ප් මෙතෙක් එකඟ වී නැත.

මේ අතර, මදුරෝ ඉවත් කිරීමෙන් පසු වෙනිසියුලාවේ තෙල් ක්ෂේත්‍රය ප්‍රතිසංස්කරණය කිරීමට අමෙරිකානු පරිපාලනය වේගයෙන් කටයුතු කරමින් සිටී. 

පසුගිය බ්‍රහස්පතින්දා වන විට අමෙරිකානු හමුදා විසින් තෙල් නැව් හයක් අත්අඩංගුවට ගෙන ඇති අතර, අමෙරිකානු ඩොලර් මිලියන 500ක් වටිනා පළමු වෙනිසියුලානු තෙල් අලෙවියද නිම කර ඇත

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka