ගණේමුල්ලේ සංජීව සිද්ධියේ ප්‍රධාන සැකකාරිය ලෙස සැලකෙන පිංපුර දේවගේ ඉෂාරා සෙව්වන්දි මේ වනවිට අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ විශේෂ ආරක්ෂාවක් යටතේ වෙනම සිර මැදිරියක රඳවා සිටින බව බන්ධනාගාර ආරංචි මාර්ග පවසනවා.
ඒ එම බන්ධනාගාරයේ සිටින අනෙක් කාන්තා රැඳවියන් 130 දෙනාට කිසිසේත්ම හමු නොවන ආකාරයටයි.
ඇයි විශේෂ ආරක්ෂාවක්?
ගණේමුල්ල සංජීවගේ සමීපතමයන් කිහිප දෙනෙකුම අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ පිරිමි අංශයේ රඳවා සිටින නිසා, ආරක්ෂක හේතූන් මත ඉෂාරාව වෙනම තබන්න බන්ධනාගාරය තීරණය කරලා තියෙනවා.
ඇගේ දවස ගෙවෙන්නේ මෙහෙමයි:
සාමාන්‍ය රැඳවියෙක් උදේ 6 සිට හවස 4 දක්වා වාට්ටුවෙන් එළියේ සිටියත්, ඉෂාරාට ඒ පහසුව නැහැ.
බන්ධනාගාර ආරංචි කියන විදිහට ඇගේ දින චර්යාව මෙහෙමයි:
උදේ 6ට සිර මැදිරියෙන් එළියට ගෙන උදේ ආහාරය ලබා දී විනාඩි 15කින් නැවත සිර මැදිරියට දානවා.
දවල් ආහාරය සඳහා නැවත විනාඩි 15ක් එළියට ගන්නවා.
රාත්‍රී ආහාරය සඳහා හවස 4ට පමණ නැවත එළියට ගන්නවා.
ඊට අමතරව දවස තුළ ව්‍යායාම කිරීම සඳහා වෙනත් රැඳවියන්ට නොගැටෙන සේ බන්ධනාගාර නිලධාරිනියන්ගේ දැඩි ආරක්ෂාව යටතේ විනාඩි 30ක කාලයක් ලබා දෙනවා.
විශේෂ පහසුකම් කිසිවක් ලබා දී නැති බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව අවධාරණය කරන්නේ.
ඉල්ලූ එකම ඉල්ලීම - පවුලට කෝල් එකක්
අඟුණකොළපැලැස්සට රැගෙන ආ පසු ඇය බන්ධනාගාරයෙන් එක් ඉල්ලීමක් කර තිබෙනවා. ඒ තමන්ගේ පවුලේ කෙනෙකුට දුරකථන ඇමතුමක් ලබා දෙන ලෙසයි.
බන්ධනාගාර නීතියට අනුව ඕනෑම රැඳවියෙකුට මසකට දෙවරක් පවුලේ අය සමඟ කතා කිරීමට අවස්ථාව තිබෙනවා. ඒ සඳහා පළමුව ඉල්ලීමක් කළ යුතු අතර, නිලධාරීන්ගේ දැඩි අධීක්ෂණය යටතේ විනාඩි 2ක පමණ කාලයක් කතා කිරීමට අවසර ලැබෙනවා. ඒ අනුව ඉෂාරාටද එම අවස්ථාව ලබා දී තිබෙනවා.
නේපාලයේ සැඟව සිටියදී අත්අඩංගුවට ගත් ඉෂාරා සෙව්වන්දි පසුගිය ඔක්තෝබර් 15 වනදා මෙරටට රැගෙන ආවා. ඉන් පසු මාස 10ක් පමණ කොළඹ අපරාධ කොට්ඨාසය භාරයේ රඳවා ප්‍රශ්න කිරීමෙන් පසු අගෝස්තු 10 වනදා කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා. එහිදී ඇයව අගෝස්තු 21 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළ අතර, යළි නඩුව කැඳවූ අවස්ථාවේදී තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කර තිබෙනවා.
මේ අතර ඇයගෙන් වැඩිදුර ප්‍රකාශ ලබා ගැනීමට කොළඹ අපරාධ කොට්ඨාසයට අධිකරණය අවසර ලබා දී ඇති බවත් වාර්තා වෙනවා.
උපුටා ගැනීමකි
