දිවියෙන් සමුගත් විශාරද නන්දා මාලිනී මහත්මිය සිංහල ගී ක්ෂේත්‍රයට කුරවී කෙවිලියක වැනි විය. හුදු ගායිකාවකට වඩා ජනතාවගේ පැත්තෙන් හඬ නැගූ ඇය චාම් බවේ සංකේතයක් විය. පුරා දශක ගණනාවක් ඇය සැරසුනේ සුදුවතින්.
ඇය කලකට ඉහත තම මව ලියනගේ එමලි පෙරේරා මහත්මිය පිළිබඳව මතකයන් අවදි කර තිබුණි. "මගේ අම්මා අලුත්ගම වැලිපැන්න ලෙවන්දුවේ. අපි හිටියේ කොටහේන කාසෙට්ටි වත්තේ පුංචි පැලක. පවුලේ දරුවන් නව දෙනෙක්. අපි ඒ සමාජයේ දුප්පත්ම පවුලක්. තාත්තා ටේලර් කෙනෙක්. කොච්චර නැති බැරි වුණත් අම්මා අපිට ඉගැන්නුවේ අවංකම සහ අරපිරිමැස්ම."
අම්මා තමන්ට දුන් ජීවිතයේ වටිනාම පාඩම ගැන ඇය මෙසේ පවසා තිබුණි. "මම දවසක් පුංචි කමට කඩේ මුදලාලිගෙන් ලූණු ගෙඩි දෙකක් හොරකම් කරගෙන ගෙදර ආවා. ගෙදර ලූණු බික්කක්වත් නැති නිසයි එදා මම ඒක කළේ. අම්මා ලූණු කොහෙන්ද කියලා ඇහුවම මම ඇත්තම කිව්වා. අම්මට තරම් තදින් කේන්ති ගිය දවසක් මට මතක නෑ. 'ගණින් ඔය ලූණු' කියලා මගේ අතින් අල්ලාගෙන පාර දිගේ බැන බැන මාව එක්කගෙන කඩේට ගියා. 'මුදලාලි සමාවෙන්න මේ කෙල්ල ලූණු ගෙඩි තුනක් හොරකම් කරලා' කියලා අම්මා ලූණු පෙට්ටියට මගේ අතින් උදුරලා දැම්මා. එදා මෙදාතුර මම කිසිදෙයක් හොරෙන් අරන් නෑ. ඒ අම්මා නිසා."
කොටහේන ගුණානන්ද විද්‍යාලයේදී ඇයගේ කලා ජීවිතය ඇරඹිණි. 'කවි නන්දා' නමින් යාළුවන් ඇයව හඳුන්වා තිබුණි. පාසලේ වෙස්සන්තර නාට්‍යයේ ක්‍රිෂ්ණ ජිනාගේ චරිතය රඟපෑවේත් ඇයයි. "අම්මාට ආස උනාට එවැනි තැනකට එන්න තරම් වත්කම් තිබුණේ නෑ. ඒත් මම ගෙදර ආවම අම්මා කිව්වා 'දුවේ මං උඹට නොපෙනෙන්න උඹේ දස්කම් බලන්න ආවා. හැංගිලා බලලා අපූරු රසයක් වින්දා' කියලා."
ලන්ඩන් ගිය අවස්ථාවකදී මව අමතා "මාස 3කින් එන්නම්" යැයි පැවසූ විට මව කියා තිබුණේ "දූ උඹ එනකන් මම මැරෙන්නේ නෑ" කියලයි. එසේ පොරොන්දු වූ පරිදිම දියණිය ලංකාවට පැමිණෙන තුරු ඇය ජීවත් වී, ඊට පසු දිනයේදී අපව හැර ගියාය. "ඇගේ ඇස් පියවෙන කලින් මට එතුමිය ළඟ අන්තිම මොහොතේ ඉන්න බැරි වුණා. ඒ සදාකාලික වේදනාවක්" යැයි නන්දා මාලිනී මහත්මිය සිහිපත් කළාය.
