gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line

ආර්ථිකය අමාරුයි කියා වැදි නායක ඉල්ලා අස්වී හෝටලයක වැඩට යයි

රතුගල ආදිවාසී නායකත්වයේ හදිසි වෙනසක් සිදුව ඇති බවත්, මාස තුනක් වැනි කෙටි කාලයක් එම ධුරය හෙබවූ නිශාන්ත කුමාර සිය තනතුරෙන් ඉල්ලා අස්වී ඇති බවත් ආදිවාසී නායක ඌරුවරිගේ වන්නියලැ ඇත්තන් අනාවරණය කර තිබේ.

බදුල්ල, දඹාන ප්‍රදේශයේ පැවැති ලෝක ආදිවාසී දින සැමරුම් උත්සවයට පෙර දින රැස්වූ සාම්ප්‍රදායික 'වරිගේ සභාවේදී' නිශාන්ත කුමාර මහතා සිය ඉල්ලා අස්වීම නිවේදනය කර ඇත.

තමන් මුහුණ දී සිටින පෞද්ගලික සහ ආර්ථික දුෂ්කරතා හේතුවෙන් මෙම තීරණය ගත් බව ඔහු එහිදී පවසා තිබේ. ඔහු මෙම ධුරයට පත්වූයේ සිය පියා වූ දානගල මහ බණ්ඩාරලාගේ සූදා වන්නියලැ ඇත්තන්ගේ අභාවයෙන් පසුවය.

කෙසේ වෙතත්, නිශාන්ත කුමාරගේ ඉල්ලා අස්වීමට බලපෑ තවත් කරුණු කිහිපයක් පිළිබඳව රැහේ ඇත්තන් අතර දැඩි කතාබහක් නිර්මාණය වී තිබිණි.

ඔහු ප්‍රදේශයේ සංචාරක හෝටලයක සේවය කිරීමත්, එම හෝටලය හරහා ආදිවාසී ජනතාව සංචාරක ආකර්ෂණය සඳහා යොදාගන්නා බවටත් චෝදනා එල්ල විය. එමෙන්ම ඔහුගේ ඇඳුම් පැළඳුම් සහ චර්යාවන් ආදිවාසී සම්ප්‍රදායන්ට පටහැනි බවට ද ප්‍රජාව අතරින් විරෝධයක් මතු වී තිබූ බව වන්නියලැ ඇත්තෝ සඳහන් කළහ.

මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින්, අභාවප්‍රාප්ත සුදු වන්නියලැ ඇත්තන්ගේ සහෝදරයෙකු වන දානිගල මහ බණ්ඩාරලාගේ කිරි බණ්ඩා ඇත්තන් රතුගල නව ආදිවාසී නායකයා ලෙස පත් කිරීමට වරිගේ සභාව තීරණය කර ඇත.

මේ අතර, ඌව පළාත් ආණ්ඩුකාර නීතිඥ කපිල ජයසේකර මහතා ද රතුගල ප්‍රදේශයේ කළ නිරීක්ෂණ චාරිකාවකදී මෙම තත්ත්වය තහවුරු වී ඇති බව පවසා තිබේ.

දඹානේ පැවැති උත්සවයේදී අදහස් දැක්වූ ආණ්ඩුකාරවරයා අවධාරණය කළේ, ආදිවාසීන් යනු මෙරටේ ගෞරවනීය ජනකොටසක් බවත්, ඔවුන්ගේ අනන්‍යතාවය සහ සංස්කෘතිය රැකගැනීම සඳහා රජය උපරිම සහයෝගය ලබාදිය යුතු බවත්ය.

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka