ඩුබායි රාජ්‍යයේ සැඟවී සිටිමින් මෙරට සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම් මෙහෙයවූ ප්‍රබල පාතාල කල්ලි සාමාජිකයින් වන කොණ්ඩ රංජි, ඇල්ටෝ ධර්මේ, බස් ලලිත් සහ වනාතේ චතූ අත්අඩංගුවට ගෙන ඇති බව එරට ආරක්ෂක අංශ විසින් මෙරට බලධාරීන් වෙත නිල වශයෙන් දැනුම් දී තිබේ.
අත්අඩංගුවට පත් අපරාධකරුවන් සහ ඔවුන්ට එල්ල වී ඇති චෝදනා
කොණ්ඩ රංජි: හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතාගේ පෞද්ගලික ලේකම්වරයා ඝාතනය කිරීමට උත්සාහ කිරීමේ සිද්ධියේ ප්‍රධාන චෝදනා ලාභියා වේ.
ඇල්ටෝ ධර්මේ: ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක ධනංජය ද සිල්වා මහතාගේ පියා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලබා සිටී.
වනාතේ චතූ: බොරැල්ල වනාතමුල්ල ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් පසුගිය කාල සීමාවේ සිදු වූ මනුෂ්‍ය ඝාතන රැසකට වගකිවයුතු ප්‍රධාන සැකකරුවෙකි.
බස් ලලිත්: හංවැල්ල ප්‍රදේශයේ සංවිධානාත්මක ලෙස කප්පම් ගැනීම් සහ මනුෂ්‍ය ඝාතන රැසක් සිදුකිරීම සම්බන්ධයෙන් චෝදනා ලබා සිටී.
'බස් ලලිත්' මෙරටට ගෙන ඒමේ විශේෂ මෙහෙයුම
පසුගිය වසරේදී ඩුබායිහිදී අත්අඩංගුවට පත් වූ 'බස් ලලිත්' නැමැති අපරාධකරු එළැඹෙන සඳුදා (24) මෙරටට රැගෙන ඒමට නියමිතය. මෙරට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය, රාජ්‍ය බුද්ධි සේවය සහ ඩුබායි ආරක්ෂක අංශ එක්ව සිදුකළ ඒකාබද්ධ මෙහෙයුමකින් මෙම අත්අඩංගුවට ගැනීම් සිදුකර ඇත.
පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ ඍජු අධීක්ෂණය යටතේ, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු මහතාගේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මක වන මෙම මෙහෙයුම සඳහා මධ්‍යම අපරාධ විමර්ශන කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කමල් ආරියවංශ මහතා ප්‍රමුඛ විශේෂ පොලිස් කණ්ඩායමක් මේ වන විටත් ඩුබායි රාජ්‍යය වෙත පිටත්ව ගොස් තිබේ.
මෙම අත්අඩංගුවට ගැනීම් ලාංකේය සංවිධානාත්මක අපරාධ මර්දන ඉතිහාසයේ දැවැන්ත ජයග්‍රහණයක් ලෙස සැලකේ.
