කුඩා කල සිටම බටහිර වෛද්‍යවරියක වීමේ සිහිනයක් හදවතේ රඳවාගෙන සිටි ඇය, අද වන විට දේශීය ආයුර්වේද වෛද්‍ය විද්‍යාව ඔස්සේ මුළු මහත් ශ්‍රී ලංකාවටම අනුපමේය කීර්තියක් අත්කර දුන් සුවිශේෂී තරුණියක් බවට පත්ව තිබේ. ඇය නමින් වෛද්‍ය දනුෂ්කා ග්‍රේරෝ ය. කෑගල්ල තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්‍ය මහා විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය හැදෑරූ ඇය, පාසල් අවදියේ පටන්ම නර්තනය, සංගීතය මෙන්ම තූර්ය වාදක කණ්ඩායම් හරහාද දස්කම් පෑ බහුවිධ දක්ෂතාවලින් පිරිපුන් තැනැත්තියකි.
උසස් පෙළ විභාගය ඉහළින්ම සමත්වීමෙන් අනතුරුව, ඇය සිය උසස් අධ්‍යාපනය සඳහා කොළඹ විශ්වවිද්‍යාලයේ ආයුර්වේද වෛද්‍ය පීඨය තෝරා ගත්තාය. එතැන් පටන් දේශීය වෛද්‍ය ක්‍රමය හැදෑරීමට දැඩි උනන්දුවකින් කටයුතු කළ ඇය, වසර පහක විශ්වවිද්‍යාල අධ්‍යාපනය දෙවැනි පෙළ ඉහළ සාමාර්ථයක් (Second Class Upper) සහිතව විශිෂ්ට ලෙස නිමා කිරීමට සමත් වූවාය. ඉන්පසුව බොරැල්ල, මීගොඩ සහ නාවින්න වැනි ප්‍රධාන ආයුර්වේද රෝහල්වල සාර්ථකව සායනික පුහුණුව නිමකිරීමටද ඇයට හැකියාව ලැබුණි.
සායනික පුහුණුවෙන් පසු රජයේ පත්වීම් ලැබෙනතුරු බලා නොසිටි වෛද්‍ය දනුෂ්කා, තමාගේම පෞද්ගලික සායනයක් ආරම්භ කරමින් රෝගීන්ට ප්‍රතිකාර කිරීම ඇරඹුවාය. එහිදී වසර 10කට වැඩි කාලයක් පුරා ඇය විසින් සිදුකරන ලද සාර්ථක පර්යේෂණ සහ ප්‍රතිකාර ක්‍රමවේද හරහා බටහිර වෛද්‍ය විද්‍යාවෙන් පවා සුවකළ නොහැකි යැයි පැවසු රෝගීන් රැසක් සුවපත් කිරීමට ඇය සමත් වූයේ දේශීය වෛද්‍ය විද්‍යාවේ ප්‍රාතිහාර්යය මැනවින් පසක් කරමිනි.
ඇයගේ ජීවිතයේ සහ වෘත්තීය ගමන් මඟෙහි විශාලතම හැරවුම් ලක්ෂය සනිටුහන් වන්නේ ලොව අංක එකේ විශ්වවිද්‍යාලයක් වන එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයට (University of Oxford) පශ්චාත් උපාධියක් සඳහා තේරී පත්වීමත් සමඟයි. ඒ අනුව ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ සාක්ෂි පදනම් කරගත් වෛද්‍ය විද්‍යාව (Evidence-Based Medicine) හැදෑරීමට වරම් ලැබූ ලංකාවේ ප්‍රථම සහ එකම ආයුර්වේද වෛද්‍යවරිය බවට පත්වීමේ සුවිශේෂී වාර්තාව ඇය සතු කරගත්තාය.
"මගේ එකම අරමුණ විශ්වාසයන් මත පමණක් පදනම් නොවී, නවීන විද්‍යාත්මක සාක්ෂි ඔස්සේ දේශීය වෛද්‍ය විද්‍යාවේ සුවකිරීමේ බලය මුළු ලෝකයටම පෙන්වා දීමයි" යනුවෙන් වෛද්‍ය දනුෂ්කා පවසන්නීය. බටහිර වෛද්‍ය විද්‍යාවට පමණක් ඉහළ පිළිගැනීමක් ඇති වත්මන් සමාජ ක්‍රමය තුළ, අපගේ සාම්ප්‍රදායික හෙළ වෙදකම සහ ආයුර්වේදය ජාත්‍යන්තර මට්ටමේ විද්‍යාත්මක පර්යේෂණ හරහා ඔප්පු කිරීමට වෛද්‍ය දනුෂ්කා ග්‍රේරෝ ගන්නා වූ මෙම නිර්භීත උත්සාහය සමස්ත ශ්‍රී ලාංකිකයන්ටම මහත් අභිමානයකි.
