නිසි අවසරයකින් තොරව විදෙස්ගත වූ ශ්‍රී ලංකා යුද හමුදාවේ කපිතාන්වරියක් ලෙස සේවය කරන වෛද්‍යවරියක කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට පත්ව තිබේ.
ඇය 2024 වසරේ මැයි මස 21 වැනි දින යුද හමුදාවෙන් නිල අවසරයක් ලබා නොගෙන බ්‍රිතාන්‍යය බලා පිටත්ව ගොස් ඇති අතර, මුම්බායි හරහා යළිත් දිවයිනට පැමිණි අවස්ථාවේදී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.
ගුවන් තොටුපොළ බලධාරීන් පවසන පරිදි, ඇයගේ සැමියා ද වෛද්‍යවරයෙකු වන අතර ඔහු බ්‍රිතාන්‍යයේ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ පුහුණු පාඨමාලාවකට සහභාගී වෙමින් සිටින බැවින් ඇය ද ඒ සඳහා එහි ගොස් ඇති බව අනාවරණය වී තිබේ.
අත්අඩංගුවට පත් වෛද්‍යවරිය සම්බන්ධයෙන් වන ඉදිරි නීතිමය පියවර සහ වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ඇයව කටුනායක ගුවන් තොටුපොළ පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
මීගමුව කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී විමල් පෙරේරා මහතාගේ උපදෙස් මත, ගුවන් තොටුපොළ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක මයිකල් ජෝර්ජ් මහතාගේ මෙහෙයවීම යටතේ මෙම සිද්ධියට අදාළ පුළුල් පරීක්ෂණයක් මේ වන විටත් ක්‍රියාත්මක කරමින් පවතී.
