විසි හැවිරිදි තරුණියකගේ අත් පා ගැට ගසා මරන බවට තර්ජනය කර බලහත්කාරයෙන් දූෂණය කිරීමේ අධිචෝදනාවට වරදකරුවන් වූ පිය පුතු දෙදෙනකුට ගාල්ල මහාධිකරණ විනිසුරු පූර්ණිමා පරණගම මහත්මිය බරපතළ වැඩ සහිත සිරදඬුවම් සහ දඩ මුදල් ද නියම කර වින්දිත කාන්තාවට වන්දි ගෙවීමට ද නියම කළාය.
පළමුවන විත්තිකාර පුතාට මිනීමැරීමට තැත් කිරීමේ චෝදනාවකට මෙයට පෙර වසර දෙකක අත්හිටවූ සිරදඬුවමක් නියම කර ඇති අතර එය ද සැලකිල්ලට ගෙන බරපතළ වැඩ සහිතව වසර 20ක සිරදඩුවම් සහ රුපියල් පහළොස් දහසක දඩයක් නියම කෙරිණි. වින්දිත කාන්තාවට රුපියල් ලක්ෂ පහක වන්දියක් ද ගෙවීමට ද ඔහුට නියමවුණි. දඩය නොගෙවන්නේ නම් තවත් මාස තුනක සිරදඬුවම් ද වන්දිය නොගෙවන්නේ නම් තවත් මාස හයක සිරදඬුවම් ද නියම විය.
දෙවැනි විත්තිකාර පියාට වසර පහළොවක සිරදඬුවම් ද රුපියල් දස දහසක දඩයක් ද නියම කර වින්දිත කාන්තාවට රුපියල් ලක්ෂ පහක වන්දියක් ද ගෙවීමට නියම වුණි. දඩය නොගෙවන්නේ නම් තවත් මාස දෙකක සිරදඬුවම් ද වන්දිය නොගෙවන්නේ නම් තවත් මාස හයක සිරදඬුවම් ද නියම විය.
හබරාදුව පොලිස් වසමේ පැදින්නෝරුව ගම්මානයේ දී 2014 මැයි 01 වැනිදා සිට 31 දා දක්වා කාලයේ දී 20 හැවිරිදි තරුණියකගේ අත් පා ගැට ගසා මරන බවට තර්ජනය කර රංචු ගැසී ස්ත්‍රී දූෂණය කිරීම සම්බන්ධයෙන් එවකට 38 වැනි වියේ පසුවූ පුතාට සහ 64 වැනි වියේ පසුවු පියාට ගාල්ල මහාධිකරණයේ අධිචෝදනා ගොනුකර තිබිණි.
පැමිණිල්ල කියා සිටි පරිදි පළමු විත්තිකරු වින්දිත තරුණියගේ තුන්වැනි අක්කාගේ සැමියා වන අතර දෙවැනි විත්තිකරු ඔහුගේ පියාය. ඔවුන් පදිංචිව සිටින්නේ එක ළඟ ගෙවල් දෙකකය.
එදින පළමුවන විත්තිකරු තම බිරිඳගේ නැගණිය වූ වින්දිත තරුණියට මුදල් දී වෙළෙඳසලට ගොස් භාණ්ඩ වගයක් ගෙන එන ලෙස පවසා ඇත. ඒ අනුව ඇය වෙළෙඳ සලට ගොස් භාණ්ඩ ගෙනැවිත් ඔවුන්ගේ නිවසේ මේසය මත තබා ඇත.
එම අවස්ථාවේ නිවසේ සිට ඇත්තේ විත්තිකාර පිය පුතු දෙදෙනා පමණි.
ඇය මේසය මත බඩු තබනවාත් සමග පළමු විත්තිකරු පැමිණ ඇයගේ කට වසා අතින් ඇදගෙන ගොස් කාමරයේ ඇඳ මතට දමා දෑත් ගැට ගසා කිසිවකුටත් නොකියන ලෙස මරන තර්ජන කර දූෂණය කර ඇත. පසුව දෙවැනි විත්තිකාර පියා ද ඇය දූෂණය කර තිබේ. ඇයට ඇතිවූ බිය නිසා සිද්ධිය කිසිවකුටත් පවසා නැත.
මාස දෙකක් ඇයගේ මාස් ශුද්ධිය නොවූ නිසා මව බද්දේගම ප්‍රදේශයේ වෛද්‍යවරයකු ළඟට කැඳවාගෙන ගොස් සිදු කරන ලද මුත්‍රා පරීක්ෂාවේදී තහවුරු වි ඇත්තේ ඇය ගැබ් ගෙන ඇති බවය. මේ අතර ගාල්ල පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයට නිර්නාමික පෙත්සමක් මගින් සිද්ධිය දැනුම් දී ඇති බව ද පසුව එය හබරාදුව පොලිසියට යොමුකර ඇති බව ද නඩුවේ දී අනාවරණය විය.
මේ අතර ඇය 2015.02.12. වැනිදා බලපිටිය රෝහලේ දී දරුවකු ප්‍රසූත කර ඇත. රජයේ නීතිඥ රවිදු ජයකොඩි මහතා පැමිණිල්ල මෙහෙයවීය. හබරාදුව පොලිසියේ සැරයන් ගාමිණි (34868) මහතා පැමිණිල්ලට සහාය විය.

