ඝාතනය කර හොරණ තිබ්බටුගොඩ පොදු සුසාන භූමියේ වළ දමා තිබෙන බවට සැක කෙරෙන පුද්ගලයකුගේ මළසිරුරක කොටස් හමුවූ බව වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය පවසයි.
හොරණ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලක්මිණි විදානගම මහත්මිය සහ හොරණ අධිකරණ වෛද්‍ය නිලධාරි සඳකැන් වඩුගේ මහතා ඉදිරියේ එම සිරුරු කොටස් ගොඩගැනීම ඊයේ (06දා) සිදුකෙරිණි. වසර එකහමාරකට පමණ පෙර සිට අතුරුදන්ව සිටි පානදුර, හිරණ, කිරිබේරිය ගල්පොත්ත පාරේ පදිංචිව සිටි සඳුන් උදාර අල්විස් නමැති 31 හැවිරිදි පුද්ගලයා ඝාතනය කර සිරුර වළ දමා ඇති බවට වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරි රොහාන් ඕලුගල මහතාට ලද තොරතුරක් අනුව අදාළ විමර්ශන සිදු කෙරේ.
පානදුර කුඩු සලිඳුගේ පාර්ශ්වය විසින් 2021 වර්ෂයේ පානදුර පිංවල පොදු සුසාන භූමියේදී සිදුකළ බව කියන මනුෂ්‍ය ඝාතනයකට අදාළ නඩුවේ ප්‍රධාන සාක්ෂිකරු ලෙස ‘හාවා’ නමැති අන්වර්ථ නාමයෙන් හඳුන්වන සඳුන් උදාර අල්විස් නමැත්තා අධිකරණයේ පෙනී සිට ඇති බව පොලිසිය කියයි.
මෙම පුද්ගලයා කුලී ත්‍රිරෝද රථ රියැදුරකු ලෙස ජීවිකාව ගෙනගොස් ඇති බවත්, 2024 අගෝස්තු මස 3 වැනිදා ගැබිනි කාන්තාවක සමග කුලී ගමනක් ගොස් ඇති අතර ඉන් පසු අතුරුදන්ව ඇති බවත් පොලිසිය සඳහන් කරයි. ඒ අනුව සඳුන් උදාර අල්විස් නමැත්තාගේ බිරිඳ වන චතුරි ලක්ෂානි නමැත්තිය විසින් හිරණ පොලිසිය වෙත පැමිණිලි කර ඇත. ඝාතනයට සම්බන්ධ සැකකරුවන් තිදෙනකු අත්අඩංගුවට ගෙන ඇති බවත්, මියගිය පුද්ගලයාගේ ත්‍රිරෝද රථය පාදුක්ක ප්‍රදේශයේ දී සොයාගෙන ඇති බවත් පොලිසිය පවසයි.
මිල්ලනිය ප්‍රාදේශීය සභාවේ කම්කරුවන් පානදුර අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිලධාරීන් සමග පැය දෙකකට ආසන්න කාලයක් මිනී වළ හෑරීමේදී පොහොර උර දෙකක බහා තිබූ මිනිස් හිස් කබලක් සහිත ශරීර කොටස් හමුව ඇත. සිද්ධිය දැකබලා ගැනීමට ප්‍රදේශවාසීහු විශාල පිරිසක් තිබ්බටුගොඩ පොදු සුසාන භූමියට පැමිණ සිටියහ.
වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ අධ්‍යක්ෂ රොහාන් ඕලුගල මහතා ගේ මෙහෙයවීමෙන් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික වීරසිංහ මහතාගේ මෙහෙයවීමෙන් පරීක්ෂණ පැවැත්වේ.
වාද්දුව – සුමිත් පොතුපිටිය සහ ගල්පාත – චන්දන පෙරේරා
