ඉරානය සමඟ පවතින යුද්ධය ඇමරිකාව ඉතා ඉහළින් ජයග්‍රහණය කරමින් සිටින බවත්, ඇමරිකානු හමුදා ප්‍රහාර හමුවේ ඉරාන නාවික සහ ගුවන් බලය සම්පූර්ණයෙන්ම අඩපණ වී ඇති බවත් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.
සිය 'Truth Social' ගිණුමෙහි විශේෂ සටහනක් තබමින් ඔහු කියා සිටියේ ඇමරිකානු මාධ්‍ය විසින් පතුරුවන "අසත්‍ය පුවත්" මගින් යුද්ධයේ සැබෑ තත්ත්වය වසන් කිරීමට උත්සාහ කරන බවයි.
නිව්යෝර්ක් ටයිම්ස් (New York Times) සහ වොෂින්ටන් පෝස්ට් (Washington Post) වැනි මාධ්‍ය ආයතන දැඩි ලෙස විවේචනය කළ ට්‍රම්ප් මහතා, එම මාධ්‍ය වාර්තා කියවන ඕනෑම අයෙකුට ඇමරිකාව යුද්ධයෙන් පරාජය වන බවක් හැඟී යන බව පවසා සිටියේය.
"ඉරානය මේ වන විට දැඩි ව්‍යාකූලත්වයකට පත්ව සිටිනවා. ඔවුන්ගේ නාවික හමුදාව මුළුමනින්ම විනාශ වී ඇති අතර ගුවන් හමුදාවට සහ මිසයිල ආරක්ෂණ පද්ධතිවලට දරුණු හානි සිදුව තිබෙනවා. එමෙන්ම ඔවුන්ගේ පැරණි නායකයින් බොහොමයක් මේ වන විට ඉවත් වී අවසන්. මෙය සැබවින්ම පාලන තන්ත්‍රයේ වෙනසක්" යැයි ඔහු සඳහන් කළේය.
ජනාධිපතිවරයා අවධාරණය කළේ හෝමුස් සමුද්‍ර සන්ධිය ආශ්‍රිතව පනවා ඇති නාවික අවහිරතාව ඉරානයට දරාගත නොහැකි මට්ටමට පැමිණ ඇති බවයි. "මෙම අවහිරතාව නිසා ඉරානයට දිනකට ඇමරිකානු ඩොලර් මිලියන 500 ක් අහිමි වනවා. ස්ථාවර සාම ගිවිසුමකට එළඹෙන තෙක් මෙම අවහිරතාව ඉවත් කරන්නේ නැහැ," යැයි ඔහු වැඩිදුරටත් පැවසීය.
දේශප්‍රේමී නොවන ඇතැම් මාධ්‍ය සහ දේශපාලන කණ්ඩායම් ඉරානයේ ජයග්‍රහණය ප්‍රාර්ථනා කළද, තමන් බලයේ සිටින තාක් එය සිදු වීමට ඉඩ නොතබන බවත්, මැතිවරණයේදී මෙන්ම ඉරාන යුද්ධයේදී ද අවසාන ජයග්‍රහණය තමන් සතු වන බවත් ජනාධිපති ට්‍රම්ප් සිය ප්‍රකාශ කර ඇත.
ඉරානය සමඟ පවතින ගැටුම සම්බන්ධයෙන් ඇමරිකානු රජය ලබාගෙන ඇති ශක්තිමත් ස්ථාවරය අඩපණ කිරීමට ඩිමොක්‍රැටික් පක්ෂය දැඩි උත්සාහයක නිරත වන බවටද ට්‍රම්ප් චෝදනා කරයි.
ජනාධිපතිවරයා අවධාරණය කළේ, සාම ගිවිසුමකට එළඹීම සඳහා තමන් කිසිදු පාර්ශ්වයක "පීඩනයකට" යටත් වී නොමැති බවයි.
පෙර පැවති ලෝක යුද්ධ සහ වියට්නාම, ඉරාක යුද්ධවල කාලසීමාවන් සිහිපත් කරමින් ජනාධිපතිවරයා කියා සිටියේ, හමුදාමය දෘෂ්ටිකෝණයකින් බලන කල ඉරානයට එරෙහි මෙහෙයුම් ඉතා වේගයෙන් හා සාර්ථකව සිදුවෙමින් පවතින බවයි.
"මා ඉරානය පරාජය කිරීමට සති හයක කාලයක් පොරොන්දු වූ බවට විපක්ෂය පවසනවා. නමුත් සැබවින්ම ඊටත් වඩා වේගයෙන් අපේ හමුදාමය අරමුණු ඉටු වෙමින් පවතිනවා. කෙසේ වෙතත්, ඇමරිකාවට අවාසිදායක වන අන්දමින් හදිසි ගිවිසුම්වලට එළඹීමට මම කිසිවෙකුට ඉඩ තබන්නේ නැහැ," යැයි ඔහු සඳහන් කළේය.
වසර 47 ක් පුරා පැවති "ඉරාන අවුල" නිසි ලෙස විසඳීමට පෙර සිටි ජනාධිපතිවරුන්ට ධෛර්යයක් හෝ ඉදිරි දැක්මක් නොතිබූ බව පැවසූ ට්‍රම්ප් මහතා, තමන් මෙම ගැටලුව නිසි ලෙස සහ ස්ථාවර ලෙස විසඳන බවට සහතික විය.
ඩිමොක්‍රැටික් පක්ෂයේ සාමාජිකයින් "ද්‍රෝහීන්" ලෙස හඳුන්වමින් ඔහු කියා සිටියේ, ඔවුන් කලක් ඉරානයේ තර්ජනය ගැන කතා කළද, දැන් තමන් එය විසඳීමට ක්‍රියා කරන විට ඇමරිකානු හමුදාවේ සහ තම පරිපාලනයේ ජයග්‍රහණ හෑල්ලුවට ලක් කරන බවයි.
මෙම මෙහෙයුම වෙනිසියුලාවේ ක්‍රියාවලියට සමාන නමුත් ඊට වඩා විශාල හා සංකීර්ණ මෙහෙයුමක් බවත්, එහි ප්‍රතිඵලය ද එලෙසම සාර්ථක වනු ඇති බවත් ජනාධිපතිවරයා පැවසීය.
සිය පළමු ධුර කාලය තුළ ලොව ප්‍රබලම හමුදාව ගොඩනැගූ බවත්, දෙවන ධුර කාලය තුළ එම හමුදාව යොදාගෙන අන් අය ඉතිරි කර ගිය ගැටලු විසඳන බවත් පවසමින් ඔහු සිය ප්‍රකාශය අවසන් කර තිබේ.
