මැදපෙරදිග අර්බුදකාරී වාතාවරණය මධ්‍යයේ වුවද, ඩීසල් මෙට්‍රික් ටොන් 18,000ක්, පෙට්‍රල් මෙට්‍රික් ටොන් 17,000ක් සහ සුපිරි ඩීසල් මෙට්‍රික් ටොන් 3,000ක් රැගත් නව ඉන්ධන නෞකාවක් ඊයේ (16) පෙරවරු 10.00ට කොළඹ වරායට සේන්දු වූ බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.
මෙම තොග අද දිනයේදීම ගොඩබෑමට නියමිත අතර, ඉන් අනතුරුව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (CPC), ලංකා අයි.ඕ.සී (LIOC), සිනොපැක් සහ ආර්.එම්. පාර්ක් යන සියලුම පිරවුම්හල් ජාලයන් වෙත ඉන්ධන බෙදාහැරීම අඛණ්ඩව සිදු කිරීමට පියවර ගෙන ඇත.
මීට සමගාමීව, පොදු ප්‍රවාහන සේවා සඳහා ප්‍රමුඛතාව ලබා දෙමින් පෞද්ගලික බස් රථ සඳහා ලංගම ඩිපෝ හරහා ඉන්ධන නිකුත් කිරීමේ විශේෂ වැඩපිළිවෙළක් ද අද සිට ක්‍රියාත්මක වේ.
මේ අතර, ඉන්ධන පෝලිම් පාලනය සඳහා හඳුන්වා දී ඇති ජාතික ඉන්ධන අවසරපත් (QR) පද්ධතිය අවභාවිත කරමින් සිදුවන මහා පරිමාණ දත්ත වංචාවක් සම්බන්ධයෙන් සංස්ථාවේ කළමනාකරණ අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාරගේ මහතා මහජනතාවට විශේෂ අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇත.
ඛනිජ තෙල් සංස්ථාවේ නාමය යොදාගනිමින් ක්‍රියාත්මක වන ව්‍යාජ වෙබ් අඩවි සහ සමාජ මාධ්‍ය ගිණුම් වෙත වාහන සහ දුරකථන අංක ලබාදීමෙන් වළකින ලෙසත්, එම දත්ත භාවිත කරමින් වංචාකරුවන් QR කේත සකස් කර ගැනීම හේතුවෙන් නියමිත වාහන හිමිකරුවන්ට සිය QR කේතය සකසා ගැනීමේ අවස්ථාව අහිමි වී යන බවත් ඔහු පෙන්වා දෙයි. එබැවින්, ඔබගේ පෞද්ගලික තොරතුරු fuelpass.gov.lk යන නිල වෙබ් අඩවියට හැර වෙනත් කිසිදු අනවසර පාර්ශ්වයකට ලබා දීමෙන් වළකින ලෙස රියදුරන්ගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියි.
