මඩකලපුව ප්‍රදේශයේදී රන් භාණ්ඩ කොල්ලකා අමානුෂික ලෙස පාළු ළිඳකට දමා සිටියදී දිවි බේරාගත් කාන්තාවකගේ බිහිසුණු අත්දැකීමක් මේ වන විට පොලීසිය හමුවේ අනාවරණය වී තිබේ.
ප්‍රදේශවාසීන්ගේ දැනුම්දීමකට අනුව පොලීසිය විසින් ඇයව එම ළිඳෙන් මුදාගන්නා අවස්ථාවේදී, ඊටත් වඩා කම්පනය දනවන කරුණක් හෙළි වූයේ එම ළිඳ තුළම තිබී තවත් අභිරහස් කාන්තා මළ සිරුරක් ද සොයාගැනීමට හැකි වීමෙනි.
පසුගිය 20 වැනිදා මුහුණ දුන් මෙම ත්‍රාසජනක සිදුවීම පිළිබඳව පොලීසියට පාපොච්චාරණය කරමින් ඇය පවසා ඇත්තේ, ත්‍රීරෝද රථයකින් ගමන් කරමින් සිටියදී තමාට සිහි නැති වන යම් ද්‍රව්‍යයක් මිශ්‍ර කළ බීම බෝතලයක් සැකකරුවන් විසින් පානය කිරීමට ලබා දුන් බවයි. රථයේ සිටි පුද්ගලයන් සතුව තිබූ 'පේපර් කටර්' එකක් සහ රථය වෙනත් මාර්ගයක ධාවනය කිරීම පිළිබඳව ඇය සැකයෙන් ප්‍රශ්න කළද, ඔවුන් කපටි ලෙස පිළිතුරු දී ඇත්තේ එය සතුන්ට තණකොළ කැපීමට ගෙන යන බවත්, රථයේ සිටි තරුණයෙකු වෙනත් ස්ථානයකට බැස්සවීමට යන බවත්ය. ඉන් මිනිත්තු කිහිපයකට පසු තමන්ට සිහිය අහිමි වූ බව ඇය වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.
මෙම සාහසික අපරාධය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් දියත් කළ පොලීසිය, ඊට සෘජුවම සම්බන්ධ ප්‍රධාන සැකකරුවන් තිදෙනෙකු මේ වන විටත් අත්අඩංගුවට ගෙන ඇත.
ඊට අමතරව, කොල්ලකන ලද රන් ආභරණ මිලදී ගත් පුද්ගලයන් දෙදෙනෙකු සහ සැකකරුවන්ට කාන්තාව සිහි නැති කිරීම සඳහා අවශ්‍ය ඖෂධ ලබා දුන් බවට සැක කෙරෙන ඔසුසල් හිමිකරුවෙකු ද ඇතුළුව සම්පූර්ණ සැකකරුවන් හය දෙනෙකු නීතියේ රැහැනට කොටු කර ගැනීමට විමර්ශන නිලධාරීන් සමත් වී තිබේ.
