වර්ණකුල ආරච්චිගේ සුරේෂ් චමින්ද 34 හැවිරිදිය. ඔහු මොරටුව, විල්ලෝරාවත්ත, සීවලි මාවතේ පදිංචිකරුවෙකි. ඒ හැටි රැකියාවක් නොකළ සුරේෂ් චමින්ද ඉකුත් 12 වැනිදා විවාහ වීමට සිටි අයෙකි. එහෙත් ඔහුගේ සිතුම්-පැතුම් සියල්ල සුන් වී ගියේ ලද දුරකතන ඇමතුමක් නිසාවෙන් ජීවිතයෙන්ද වන්දි ගෙවමිනි.
දිනය ඉකුත් මාර්තු 3 වැනිදාය. එදින සුරේෂ් චමින්ද නිවෙසේ කල් ගත කළේ විවාහ උත්සවයට සූදානම් වෙමිනි. ඒ මොහොතේ සිය නිෙවසේ මව මෙන්ම විවාහ වීමට සිටි තරුණියද පැමිණ සිටියාය. එදින සවස 4.45ට පමණ සුරේෂ් චමින්දට දුරකතන ඇමතුමක් ලැබී තිබුණේ ඔහුගේ මිතුරෙකුගෙනි.
“මචන්… චමින්ද උඹ කොහේද ඉන්නේ… උඹට පුළුවන්ද ෂම්මියාගේ ශ්‍රී ජය හෝටලේ පැත්තට ඇවිල්ලා යන්න…” යැයි මිතුරා පැවැසීය.
ඊට එකඟ වූ සුරේෂ් මොරටුව, විල්ලෝරාවත්තේ, මෙන්ඩිස් පාරේ පිහිටි ෂම්මි නමැති සුරේෂ්ගේ මිතුරා මෑතකදී මිලට ගත් එම හෝටලයට යාමට සූදානම් වූයේය. එහෙත් ඔහුගේ ගමනට බාධා කිරීමට දින කීපයකින් විවාහ වීමට සිටි තරුණිය උත්සාහ කළාය. ඇගේ එම උත්සාහය සාර්ථක නොවූවාය.
“සුදූ.. ඔයා ගෙදර ඉන්න… මම විනාඩි පහෙන් ගිහිල්ලා එනවා…” යැයි කී සුරේෂ් WP AAG 7537 දරන ඔහුගේ ත්‍රිරෝද රථයෙන් අදාළ හෝටලය බලා ගියේ මිතුරන් හමුවීමේ අදහසිනි. එලෙස මිතුරන් හමුවීමට ගොස් ඉක්මනින් නැවත නිවෙසට පැමිණෙනවායැයි කීවද සුරේෂ් නොපැමිණියේය.
මේ අතර මොරටුමුල්ල පොලීසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධරයකුට සිය පෞද්ගලික තොරතුරුකරුවකුගෙන් දුරකතන ඇමතුමක් ලැබී තිබුණේ එදින පෙරවරු 7ට පමණය.
“සර්… මෙන්ඩිස් පාරේ ෂම්මිලාගේ ගේ ළඟ ශ්‍රී ජය හෝටලේ ගාව පාරේ ලේ පැල්ලමක් තියෙනවා… මොකක්හරි කේස් එකක් ගිහිල්ලා තියෙනවා වගේ…” යැයි තොරතුරුකරු කීවේය.
එම තොරතුරට අනුව මොරටුමුල්ල පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දිනේෂ් හෙට්ටිආරච්චි සමඟ තොරතුර ලද නිලධාරියා ඇතුළු කණ්ඩායමක් එම ස්ථානයට ගොස් සොයා බැලීය. නිලධාරින් කණ්ඩායම එම ස්ථානයේ සිටියදී අපරාධ විමර්ශන අංශ නිලධාරියට නැවතත් තොරතුරුකරුවකුගෙන් තොරතුරක් ලැබිණි.
“සර්… විල්ලෝරාවත්තේ සුරේෂ් කියන කෙනා කපලා දාලා… මොරටුව… වීරපුරන්අප්පු ග්‍රවුන්ඩ් එක ඉස්සරහා… ත්‍රිවිල් එකක් ඇතුළේ තමයි බොඩි එක තියෙන්නේ…” යැයි කීය.
ඒ අනුව පොලිස් නිලධාරින් ඒ මොහොතේ රැඳී සිටි ස්ථානයේ සිට කිලෝමීටර් තුනක පමණ දුරකින් පිහිටි සුරේෂ්ගේ සිරුර තිබූ ස්ථානයට ගොස් පොලීසිය මූලික විමර්ශන ඇරැඹීය. ඒ වන විට සුරේෂ් නමැත්තා කැපුම් තුවාල සහිතව ඔහුගේම ත්‍රිරෝද රථයේ මරණයට පත්ව සිටියේය. සුරේෂ් චමින්දගේ ඝාතනය පිළිබඳ ගල්කිස්ස කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අශෝක ගුණසේකර දැනුවත් කිරීමත් සමඟ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේද උපදෙස් මත මොරටුමුල්ල පොලීසියේ ස්ථානාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් මූලික විමර්ශන සිදු කෙරෙද්දී ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක නිලන්ත ගමගේ ඇතුළු කණ්ඩායමක්ද ඝාතකයන් සොයා විමර්ශන ඇරැඹීය. එහිදී මුලින්ම මොරටුමුල්ල පොලිස් නිලධාරින් ලේ පැල්ලම සහ සුරේෂ්ගේ ඝාතනය අතර සබඳතාවක් ඇතැයි යන සැකය මත විමර්ශන අරඹද්දී නිලධාරින්ට තොරතුරු ලැබී තිබුණේ සුරේෂ්ගේ ඝාතනය ෂම්මි, ටුටූ, හංස සහ තවත් පුද්ගලයකු එක්ව සිදුකර ඇති බවටයි. එම පිරිස ගැන සොයා බලද්දී ඔවුහු ඒ වන විට ප්‍රදේශයෙන් පලා ගොස් සිටියහ. මොරටුමුල්ල පොලිස් නිලධාරින් අනාවරණය කරගත්තේ හංසට එම ප්‍රදේශයෙන් පලා යාමට ඔහුගේ මිතුරන් වන සුරංජිත් සහ සඳුන් යන දෙදෙනා සහය දී ඇති බවය. ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගත් පොලීසිය අධිකරණයට ඉදිරිපත්කොට රක්ෂිත බන්ධනාගාරගත කළේය. එම එක් පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට යාමේදී ඔහුගේ නිෙවසේ තිබී අයිස් මත්ද්‍රව්‍යයද සොයා ගැනිණි.
මේ අතර සුරේෂ් ඝාතනයේ සැකකරුවන් පලා ගිය ප්‍රදේශයේ සීසීටීවී කැමරා පරික්ෂා කළ ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශ නිලධරයෝ සුරේෂ් ඝාතනයෙන් පසු ඔහුගේ සිරුර ඔහුගේම ත්‍රිරෝද රථයට දමාගෙන රැගෙන එන ආකාරයද අනාවරණය කරගැනිණි. අනතුරුව ත්‍රිරෝද රථයේ ඉන්ධන අවසන් වීම නිසා ගාලු පාරේ වීරපුරන්අප්පු ක්‍රීඩාංගණය අසල ත්‍රිවිලරය නවතා ඉන් බැස ගත් ෂම්මි සහ ටුටූ පලා යන ආකාරයද සීසීටීවී කැමරා මඟින් අනාවරණය කරගත්තේය.
අනතුරුව දෙදෙනා එම ස්ථානයේදී කුලී ත්‍රිරෝද රථයකට නඟින ආකාරයද එම ත්‍රිවිලරයෙන් රත්මලානට යන අයුරුද හෙළි විය. ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශ නිලධරයෝ දෙදෙනා පලා ගිය කුලී ත්‍රිරෝද රථයේ රියැදුරා සොයා ගොස් ප්‍රශ්න කළේය.
“සර්… ඔය දෙන්නා රුපියල් 500ක් දීලා මාත් එක්ක හයර් එක ගියේ… දෙන්නා රත්මලානේ ගෙවල් සීයෙන් බැස්සේ… මං දැක්කා ඒ දෙන්නා ත්‍රිවිල් එකෙන් බැහැලා ගිය තැනට කළු මහත කෙනෙක් එනවා…” යැයි ඔහු පැවැසීය.
එම තොරතුරට ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරින් එකී කළු පැහැති මහත පුද්ගලයා පොලිස් භාරයට ගෙන ප්‍රශ්න කළේය. කසුන් නමැති ඔහු ෂම්මි ඇතුළු කණ්ඩායමේ මිතුරෙකි. කසුන්ගෙන් පොලීසිය ප්‍රශ්න කරමින් සිටියදී ෂම්මිලාගෙන් ඔහුට දුරකතන ඇමතුමක් ලැබිණි. ඒ වන විට කසුන් පොලීසිය භාරයේ සිටින බව ඔවුහු නොදැන සිටියහ.
“මචන්… කසුන් අපිට සල්ලි ටිකක් ඕන… ඉක්මනටම වැඩේ කරලා දීපන්…” යැයි කීවේය.
එලෙස කසුන්ගෙන් මුදල් ඉල්ලා ෂම්මිගෙන් ලද දුරකතන ඇමතුමත් සමඟ ෂම්මි ඇතුළු කණ්ඩායම කොටුකර ගැනීමට පොලිස් නිලධාරින් දැලක් එලීය. ඒ අනුව කසුන් මඟින් ෂම්මිලාට මුදල් ලබා දීමට පිටකොටුවට එන ලෙස පැවැසීය. එසේ කසුන්ගෙන් මුදල් ලබා ගැනීමට පිටකොටුවට පැමිණ සිටියදී ඉකුත් 11 වැනිදා ෂම්මි, ටුටූ සහ හංස පිටකොටුව බස් නැවතුම්පොළ අසලදී ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශ නිලධරයන්ගේ අත්අඩංගුවට පත් විය.
එලෙස අත්අඩංගුවට ගත් ජූඩ් චමින්ද ප්‍රනාන්දු හෙවත් ෂම්මි 49 හැවිරිදිය. ඔහු මොරටුව, විල්ලෝරාවත්තේ, මෙන්ඩිස් පාරේ පදිංචි ව්‍යාපාරිකයෙකි. සුරේෂ්ගේ ඝාතනය සිදුවූ බව සඳහන් ශ්‍රී ජය හෝටලයද ෂම්මි මෑතකදී මිලට ගත්තකි. ව්‍යාපාරික කටයුතුවලම නියැළුණු ටුටූ හෙවත් ජානක චර්මිලා ප්‍රනාන්දු 49 හැවිරිදි මොරටුව, රාවතාවත්ත, එකමුතු මාවතේ අයෙකි. අත්අඩංගුවට ගත් තෙවන සැකකරු 38 හැවිරිදි හංස ධනුෂ්ක මොරටුව, කටුබැද්ද, ආනන්දාරාම පාරේ පදිංචි රියැදුරු රැකියාව කළ අයෙකි.
සැකකරුවන් සහ සුරේෂ් කලෙක සිටම එකම කණ්ඩායමක මිතුරු කැලකි. සුරේෂ් මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධව සිටි අයෙකි. ඔහු මහාධිකරණ නඩුවකට අදාළව බන්ධනාගාරගතව සිට මෑතකදී බන්ධනාගාරයෙන් පැමිණි අයෙකි. සුරේෂ් ඔහුගේ මිතුරු කණ්ඩායමේ ප්‍රධානියා වීමට සිහින මැවූ අයෙකි. එම සිහින සපථ කරගැනීමට යාමත් සමඟ ඔහු හා මිතුරු කැල අතර පසුගිය කාලයේ ආරවුල් හටගෙන තිබිණි. එම ආරවුල් දුරදිග යාමෙන් ඉකුත් 3 වැනිදා සුරේෂ්ට මිතුරෙකුගෙන් දුරකතන ඇමතුමක් ලැබී තිබුණේ ෂම්මිගේ ශ්‍රී ජය හෝටලයට පැමිණෙන්නැයි කියමිනි. එදින හෝටලයට පැමිණි මොහොතේ එම ආරවුල් දුරදිග යාම හේතුවෙන් සැකකරුවන් විසින් සුරේෂ් කපා-කොටා ඝාතනය කෙරිණි. අනතුරුව ඔහුගේම ත්‍රිරෝද රථයට පටවාගත් මළසිරුර සැකකරුවන් විසින් මුහුදට දැමීමට යාමේදී ත්‍රිරෝද රථයේ ඉන්ධන අවසන් වීමෙන් වීර පුරන්අප්පු ක්‍රීඩාංගණය අසල ත්‍රිවිලරය දමා සැකකරුවන් පලා ගොස් තිබිණි.
ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශ නිලධාරින් විසින් අත්අඩංගුවට ගත් තිදෙනා මොරටුමුල්ල පොලීසියට භාර දීමෙන් පසු එම සැකකරුවන්ගෙන් ප්‍රශ්නකොට සුරේෂ් ඝාතනයට යොදාගත් ආයුධද සොයා ගැනිණි.
එකම මිතුරු කැලකගේ ආරවුලක් දුරදිග යාමෙන් ඉකුත් 12 දා විවාහ වීමට සිටි සුරේෂ්ට දිවි අහිමි වෙද්දී තවත් තිදෙනෙකුට මහඋළුගෙදර උරුම වූයේ තවත් ඛේදවාචකයක් සනිටුහන් කරමිනි.
(සිළුමිණ)
