ඉතාලි පොලිස් සේවයේ (Carabinieri) රාජකාරියේ නිරත වූ එකම ශ්‍රී ලාංකිකයා වූ 27 හැවිරිදි ෂෙහාන් ප්‍රනාන්දු මහතා, මිලානෝ නුවර පිහිටි සිය පොලිස් නිල නිවාසය තුළදී වෙඩි වැදී අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබේ.
ඉතාලි මාධ්‍ය වාර්තා කරන පරිදි, ඔහුගේ සිරුර සොයා ගන්නා විට රාජකාරිය සඳහා ඔහුට නිකුත් කර තිබූ ගිනි අවිය ද ඒ අසල තිබී සොයාගෙන ඇත. සමස්ත ඉතාලි පොලිස් දෙපාර්තමේන්තුව නියෝජනය කළ එකම ශ්‍රී ලාංකික නිලධාරියා මොහු වීම හේතුවෙන්, මෙම හදිසි ඛේදවාචකය එරට වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව මෙන්ම ඉතාලි බලධාරීන් ද දැඩි කම්පනයට පත් කර තිබේ.
අවිවාහක තරුණයෙකු වූ මියගිය ෂෙහාන් මහතාගේ උපන් ගම වෙන්නප්පුව, තල්දෙන ප්‍රදේශය වන අතර, ඔහුගේ මවුපියන් ද වසර ගණනාවක සිට ඉතාලියේ රැකියාවල නිරත වෙමින් පදිංචිව සිටින බව වාර්තා වේ.
මෙම අද්භූත මරණය සම්බන්ධයෙන් මේ වන විටත් එරට පොලිසිය විසින් පරීක්ෂණ ක්‍රියාත්මක කරනු ලබන අතර, ෂෙහාන් ප්‍රනාන්දු මහතාගේ අවසන් කටයුතු ඉතාලියේ මිලානෝ නුවරදී මෙම මස 27 වැනි දින සිදු කිරීමට නියමිත බව පවුලේ ආරංචි මාර්ග සහ එරට වෙසෙන ශ්‍රී ලාංකිකයින් විසින් තවදුරටත් තහවුරු කර ඇත.
