පසුගිය 2020 වසරේ කොවිඩ් වසංගත සමයේදී අභිරහස් ලෙස අතුරුදන් වූ ග්‍රෑන්ඩ්පාස්, කම්බිකොටුව වත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි 62 හැවිරිදි සුනිල් කුමාරසිංහ සහ කාමන් ද සිල්වා යන අඹුසැමි යුවළ ඝාතනය කර ඇති බව වසර හයකට පසු අනාවරණය වී තිබේ.
කාලයක් තිස්සේ යටපත්ව තිබූ මෙම සාහසික අපරාධය පිළිබඳ තොරතුරු අනාවරණය කර ගැනීමට කොළඹ අපරාධ කොට්ඨාසය සමත් වූ අතර, ඒ අනුව සිදුකළ විමර්ශනවලින් අනතුරුව ඝාතනයට ලක්වූවන්ගේ අස්ථි කොටස් ඊයේ (24) පස්වරුවේ එම ප්‍රදේශයේම ඇළ මාර්ගයක වළ දමා තිබියදී සොයාගැනුණි.
මෙම ඝාතනය සම්බන්ධයෙන් මියගිය යුවළගේ අසල්වැසි අඹුසැමි යුවළක් සහ ඔවුන්ට ආධාර අනුබල දුන් තවත් පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට පත්ව ඇත. පුද්ගලික ආරවුලක් මත තියුණු ආයුධවලින් පහරදී මෙම ඝාතනය සිදුකර ඇති බවත්, මියගිය කාන්තාවගේ රන් මාලය කොල්ලකා සිරුරු කොටස් වලට කපා ඇළ මාර්ගයේ වළ දමා ඇති බවත් ප්‍රශ්න කිරීම් වලදී අනාවරණය වී තිබේ. අත්අඩංගුවට පත් සැකකාර පුරුෂයන් දෙදෙනාම දැඩි ලෙස මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් බවට පොලිසිය හඳුනාගෙන ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව, මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ අද දින අදාළ ස්ථානය කැණීම් කර සිරුරු කොටස් ගොඩගනු ලැබීය.
සිරුරු කොටස් මතු වූ අවස්ථා කිහිපයකදීම ප්‍රධාන සැකකරු විසින් ඒවා නැවත නැවතත් වළ දමා ඇති බවට තොරතුරු හෙළිවී ඇති අතර, අපරාධයට සම්බන්ධ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීම සඳහා කොළඹ අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරයි.
