කැකිරාව මහෙස්ත්‍රාත් අධිකරණයේ විභාග වෙමින් පැවති නඩුවකට අදාළ ලේඛන විනාශ කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වරදකාරිය වූ නීතිඥවරියකගේ නීතිඥභාවය සම්පූර්ණයෙන්ම අහෝසි කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීන්දු කර තිබේ.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා විසින් ප්‍රකාශයට පත් කරන ලද මෙම අවසන් තීන්දුවට විනිසුරුවරුන් වන අර්ජුන ඔබේසේකර සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගේ එකඟතාවය හිමි විය. ඇයගේ නීතිඥභාවය අහෝසි කිරීමට අමතරව, අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ ඇයට වසර පහකට අත්හිටවූ වසරක සිරදඬුවමක් සහ රුපියල් 25,000ක දඩයක් ද නියම කරනු ලැබීය.
මෙම නීතිඥවරියට එරෙහිව එල්ල වී තිබූ ප්‍රධාන චෝදනාව වූයේ, 2023 වසරේ ජූලි මස 27 වන දින අදාළ අධිකරණයේ නඩු ගොනුවක් බලහත්කාරයෙන් උදුරාගෙන, එහි තිබූ අත් අකුරු පරීක්ෂාවකට අදාළ පිටු දෙකක් ඉරා දමා සපා කෑමෙන් විනාශ කිරීමයි.
මෙම ක්‍රියාව හරහා නීතිඥ වෘත්තීය ආචාරධර්ම බරපතළ ලෙස කඩ කිරීම හේතුවෙන් අධිකරණය විසින් පරීක්ෂණ අවසන් වන තෙක් ඇයට එරෙහිව අතුරු තහනම් නියෝගයක් පනවා තිබුණි. එහෙත්, එම තහනම නොතකා හරිමින් සහ සේවාදායකයින්ගෙන් මුදල් ලබාගනිමින් ඇය යළිත් නීතිඥ වෘත්තියේ නිරත වීම හේතුවෙන් නීතිපතිවරයා විසින් ඇයට එරෙහිව අධිකරණයට අපහාස කිරීමේ දෙවන චෝදනා පත්‍රයක් ද ඉදිරිපත් කරනු ලැබීය.
මුල් අවස්ථාවේදී තමන් නිවැරදිකාරිය බව ප්‍රකාශ කළ ද, පසුව ඇය විසින් සිය අදහස වෙනස් කරමින් ඉදිරිපත් කර ඇති සියලුම චෝදනාවන්ට වරද පිළිගන්නා බව අධිකරණය හමුවේ දැනුම් දී ඇත. ඒ අනුව, ඇයගේ නම නීතිඥ නාමාවලියෙන් වහාම ඉවත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් රෙජිස්ට්‍රාර්වරයාට නියෝග කළ අතර, ඒ බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයට සහ කැකිරාව දිසා විනිසුරුවරයාට දැනුම් දෙන ලෙසද උපදෙස් දෙනු ලැබීය.
නියමිත දඩ මුදල නොගෙවන්නේ නම් අමතර මාස හයක සිරදඬුවමක් නියම වන බවත්, ඇඟිලි සලකුණු ලබාදීම සඳහා පොලිස් අපරාධ වාර්තා කොට්ඨාසය හමුවේ පෙනී සිටිය යුතු බවත් අදාළ නඩු තීන්දුවේ වැඩිදුරටත් අවධාරණය කර තිබේ.
