සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි ආන්දෝලනයට තුඩුදුන්, බළලෙකු අමානුෂික ලෙස අප###යට ලක් කරන වීඩියෝවක් සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයකින් පසු වලපනේ පොලිසිය විසින් 26 හැවිරිදි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
අදාළ වීඩියෝ දර්ශන අන්තර්ජාලය ඔස්සේ ප්‍රචාරය වීමත් සමඟ සත්ත්ව සුභසාධන කණ්ඩායම් සහ මහජනතාවගෙන් එල්ල වූ දැඩි විරෝධය හමුවේ ක්‍රියාත්මක වූ පොලිසිය, ඉකුත් පෙබරවාරි 8 වන දින මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත. අත්අඩංගුවට ගත් සැකකරු තිබ්බටුගොඩ ප්‍රදේශයේ පදිංචි අයෙකි.
අත්අඩංගුවට ගත් සැකකරු එදිනම වලපනේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ අතර, එහිදී මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ සැකකරුව පෙබරවාරි 24 වන දින දක්වා දින 14 ක කාලයක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි.
මීට අමතරව, අදාළ පුද්ගලයාගේ මානසික සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව වෛද්‍ය පරීක්ෂණයක් පවත්වා ඒ සම්බන්ධ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ද පොලිසියට නියෝග කර තිබේ.
