අකුරේගොඩ සුපිරිවෙළෙදසැලක් ඉදිරිපිටදී නීතීඥවරයෙකු සහ ඔහුගේ බිරිද ඝාතනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් වෙඩික්කරු ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ දින 90 ක් රඳවා ගෙන ප්‍රශ්න කිරීමට පියවර ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගනු ලැබුවේ අකුරේගොඩ ද්විත්ව ඝාතනයට පැමිණි වෙඩික්කරුවන් දෙදෙනාගෙන් ටී - 56 වර්ගයේ ගිනි අවියෙන් නීතිඥවරයාට වෙඩි තැබූ පුද්ගලයායි.
එමෙන්ම මොහුගෙන් සිදුකරන ලද ප්‍රශ්න කිරීම්වලදී ද්විත්ව ඝාතනය අදාළව කරුණු රැසක් මේ වන විට අනාවරණය වෙමින් පවතිනවා.
ඝාතනයට පෙර කරන්දෙණිය සුද්දා විසින් බද්දේගම පදිංචි 46 හැවිරිදි මෙම හිටපු යුධ හමදා සෙබළාට දුරකථන ඇමතුමක් ලබාදී තිබෙනවා.
එහිදී කරන්දෙණිය සුද්දා විසින් සැකකරුට දුරකථනයෙන් අමතා ප්‍රකාශ කර ඇත්තේ "ගහන්න තියෙන්නේ ලෝයර් කෙනෙක්ට. මගේ පාස්පෝට් විස්තර ලෝයර් ගාව තියෙනවා. එයා ලොකු පැටී එක්කත් සම්බන්ධයි. මගේ තොරතුරු ලොකු පැටීට දෙනවා. ලෝයර් ට විතරක් නෙවේ වයිෆ්ටත් තියන්න ඕන“ යනුවෙන්.
මීට අමතරව තමන්ව ලංකාවට ගෙන්වා ගැනීමට අදාළ තොරතුරු නීතිඥවරයා සන්තකයේ පවතින බවටද කරන්දෙණිය සුද්දා විසින් සැකකරුට ප්‍රකාශ කර ඇති බවයි පොලිසිය හමුවේ පාපොච්චාරණය කර ඇත්තේ.
මෙම වෙඩික්කරු 2009 වර්ෂයේ ලබාදුන් පොදුසමා කාලය තුල නීත්‍යානුකූලව යුධ හමුදාවෙන් ඉවත්වූ අයෙක් වන අතර, සක්‍රීය සේවයේ සිටින කාලය තුළ සංවිධානාත්මක අපරාධකරුවෙකු බව කියන කරන්දෙණිය සුද්දා හඳුනාගෙන තිබෙනවා.
මේ අතර ඝාතනය සිදුවූ පසුගිය13 වනදාට පෙර දින මෙම සැකකරු විසින් කුලී ත්‍රිරෝද රථයක් මගින් කොටිකාවත්ත ප්‍රදේශයේ දෙමහල් නිවසකට පැමිණ වෙඩි තැබීමට යොදාගත් ටී 56 සහ රිවෝල්වරය පරීක්ෂා කර තිබෙනවා.
ඒ කරන්දෙණිය සුද්දා කළ දැනුම්දීමක් මතයි.
අනතුරුව ඔහු පැමිණ ඇත්තේ පන්නිපිටිය ප්‍රදේශයේ පිහිටි ලැගුම්හලකටයි.
ඔහුට එහි සිටින අවස්ථාවේ ඝාතනය සදහා රුපියල් ලක්ෂයක මුදලක් සමග අයිස් මත්ද්‍රව්‍ය ද ලබාදුන් බවට පවසා තිබෙනවා.
අත්අඩංගුවට ගත් මෙම සැකකරු අධික ලෙස අයිස් මත්ද්‍රව්‍ය සදහා ඇබ්බැහිවූවෙක් බවයි පොලිසිය සඳහන් කළේ.
මොහු අම්බලන්ගොඩ කුරුඳු කැළයට යාබද කුකුළු ගොවිපළක සිටියදී හෝමාගම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරින් සහ බස්නාහිර දකුණ අපරාධ කොට්ඨායේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ ඊයේ පස්වරුවේයි.
ඒ ඝාතනයට පසුදින සිට සැකකරු සහ රත්මලාන ප්‍රදේශයේ පදිංචි ඔහුගේ වැඩිමහල් සොහොයුරිය සමග සිදුකළ දුරකථන දත්ත විශ්ලේෂණය ඔස්සේ ලබාගත් තොරතුරු අනුවයි.
ඒ අනුව බස්නාහිර දකුණ දිසා අපරාධ කොට්ඨාසය විසින් පළමුව සැකකරුගේ සහෝදරිය සැකපිට පොලිස් භාරයට ගනු ලැබුවා.
එහිදී සිදුකළ දුරකථන දත්ත විශ්ලේෂණ ඔස්සේ සෙයාගැනීමට හැකිවී ඇත්තේ සැකකරු අම්බලන්ගොඩ ප්‍රදේශයේ සිටින බවටයි.
අනතුරුව වහාම ක්‍රියාත්මක වූ බස්නාහිර දකුණ දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරින් සහ හෝමාගම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරින් විසින් සැකකරු සැඟව සිටි අම්බලන්ගොඩ කුරුඳු කැළයට යාබද කුකුළු ගොවිපළට ගොස් තිබෙනවා.
ඔහු සන්තකයේ තිබී අපරාධය සදහා භාවිත කරන ලද ජංගම දුරකථනයද සොයාගෙන තිබෙනවා.
එමෙන්ම සැකකරුට කුරුඳු කැළයට යාබද කුකුළු ගොවිපළේ නවාතැන් ලබාදුන් අම්බලන්ගොඩ - දෙල්දුවේ පදිංචි පුද්ගලයෙකු මේ වනවිට ප්‍රදේශයෙන් පලාගොස් ඇති අතර, ඔහු භාවිත කරන ලද යතුරුපැදිය අම්බලන්ගොඩ පොලිස් භාරයට ගෙන තිබෙනවා.
අකුරේගොඩ ද්විත්ව ඝාතනයට දින 08 කට පසුව මෙලෙස එක් වෙඩික්කරුවෙකු අත්අඩංගුවට ගත් අතර, ඝාතනයට පැමිණි අනෙක් වෙඩික්කරු වන ජින්තුපිටියේ වෙඩි තැබීම සිදුකළ බව කියන සැකකරු මේ දක්වා අත්අඩංගුවට ගැනීමට හැකිව නැහැ.
අකුරේගොඩ ද්විත්ව ඝාතනයෙන් අනතුරුව මොහු සහ අනෙක් වෙඩික්කරු කොට්ටාව ප්‍රදේශයෙන් මෝටර් රථයෙන් බැස තිබෙනවා.
අනතුරුව මෙම සැකකරු කොට්ටාව ප්‍රදේශයෙන් බස් රථයකට නැග දෙහිවල දක්වා ගමන් කර ඇති අතර, පසුව දෙහිවලින් බැස ගාලූ පාර ඔස්සේ අම්බලන්ගොඩට තවත් බස් රථයකින් ගොස් ඇති බවටයි තොරතුරු අනාවරණ වන්නේ.
මෙම සැකකරු වෙනත් වරදක් සඳහා මීට පෙර වසරක කාලයක් රිමාන්ඞ් භාරයේ සිට ඇති අතර, කරන්දෙණිය සුද්දා විසින් ඇප ලබා ගැනීමට අවශ්‍ය මුදල් ලබා දීමෙන් පසු ඇප ලබා පැමිණ තිබෙනවා.
ඒ අනුව සැකකරු අකුරේගොඩ ද්විත්ව ඝාතනයට අදාළ වෙඩි තැබීම සිදු කර ඇත්තේ ඊට ප්‍රතිඋපකාරයක් වශයෙන් බවයි පොලිසිය සැක පළ කරන්නේ.
එමෙන්ම සැකකරු විසින් නීතිඥවරයාට ටී - 56 ගිනි අවියෙන් උණ්ඩ ප්‍රහාර 08 ක් එල්ල කළ බවද පොලිසිය හමුවේ ප්‍රකාශ කර තිබෙනවා.
මේ අතර ඝාතනයට පෙර සැකකරුවන් අකුරේගොඩ ප්‍රදේශයට ප්‍රවාහනය කළ මෝටර් රථය පැදවූ රියැදුරු මීට පෙර එකිනෙකා හමුවී නොමැති බවටයි හෙළිව ඇත්තේ.
ඒ අනුව ඔවුන් මුල් වරට හමු වී ඇත්තේ මෙම ඝාතනය සිදුකිරීමටයි.
කෙසේ වෙතත් වෙඩික්කරුවන් ප්‍රවාහනය කළ මෝටර් රථයේ රියදුරු වෙනත් රටකට පළා ගොස් ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

