මෝටර් රථවල රියදුරු ආරක්ෂාව සඳහා සවිකර ඇති වායු බැලූන (Airbags) පද්ධතියේ ක්‍රියාකාරීත්වයේ දෝෂයක් හේතුවෙන් මෙරටින් වාර්තා වූ දෙවන මරණය ගාල්ල ප්‍රදේශයෙන් වාර්තා වී තිබේ.
මෙම අවාසනාවන්ත සිදුවීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ ආදි සිසුවකු වන 63 හැවිරිදි හේමසිරි රණවීර මහතාය. පසුගිය ජනවාරි 31 වැනිදා ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය ආසන්නයේදී ඔහු ගමන් ගත් මෝටර් රථය තාප්පයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති අතර, අනතුර සිදුවන අවස්ථාවේදී වාහනය ඉතා අඩු වේගයකින් ධාවනය වී ඇති බව විමර්ශනවලදී තහවුරු වී ඇත.
මෙම මරණය සම්බන්ධයෙන් කරාපිටිය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිනී සසිනි නිරුදිකා ගමගේ මහත්මිය විසින් සිදුකරන ලද පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණය වී ඇත්තේ, මරණයට සෘජු හේතුව වායු බැලූනය විවෘත වීමේදී ඉන් විසිවූ ලෝහමය කොටසක් මියගිය පුද්ගලයාගේ හකු අස්ථිය හරහා ගොස් සුෂුම්නාවට හානි කිරීමෙන් සිදුවූ අධික රුධිර වහනය බවයි. සිරුරේ වෙනත් කිසිදු බරපතළ තුවාලයක් නොතිබූ බැවින් මෙය මෝටර් රථ ආරක්ෂණ පද්ධතියේ පවතින නිෂ්පාදන දෝෂයක් බව වෛද්‍ය වාර්තා මගින් සනාථ කර ඇත. මීට පෙර 2023 වසරේදී හොරණ ප්‍රදේශයේදී මෙවැනිම දෝෂයක් හේතුවෙන් ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණ ආයතනයේ විද්‍යාඥයකු වූ ආචාර්ය විමුක්ති ජයවීර මහතා ද ජීවිතක්ෂයට පත් වූ අතර, එය මෙරටින් වාර්තා වූ පළමු වායු බැලූන ආශ්‍රිත මරණය ලෙස සැලකේ.
දෝෂ සහිත වායු බැලූන අඩංගු වාහන සම්බන්ධයෙන් අදාළ නිෂ්පාදන සමාගම් විසින් මීට පෙර නැවත කැඳවීම් (Recalls) සිදු කර තිබුණද, තවමත් එවැනි අනාරක්ෂිත වාහන රැසක් මෙරට මාර්ගවල ධාවනය වන බව මෙම සිදුවීම හරහා තවදුරටත් තහවුරු වේ. මේ හේතුවෙන්, තමන් භාවිත කරන මෝටර් රථයේ වායු බැලූන පද්ධතිය නිෂ්පාදකයා විසින් සහතික කරන ලද නිසි ආරක්ෂිත ප්‍රමිතියකින් යුක්තදැයි කඩිනමින් පරීක්ෂා කර ගන්නා ලෙස අධිකරණ වෛද්‍ය විශේෂඥ පනීත සෙනෙවිරත්න මහතා ඇතුළු වෛද්‍ය කණ්ඩායම මහජනතාවගෙන් දැඩිව ඉල්ලා සිටිති.

