තමන්ගේම කාමරය ඇතුළේ පවා තරුණියන්ට ආරක්ෂිතව ඉන්න බැරි තරමට තාක්ෂණය රුදුරු වෙන්න පුළුවන්ද?
වසර තුනක් තිස්සේ තරුණියන්ගේ රහස්‍ය ජීවිත අගාධයකට ඇද දැමූ මතුගම තරුණයෙකුගේ "අමුතු සෙල්ලමක්" ගැන තොරතුරු අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේදී හෙළි වුණා.
අත්අඩංගුවට ගත් තරිඳු දිල්රංග නමැති මෙම තරුණයා, කළුතර සහ පානදුර ප්‍රදේශවල තරුණියන්ගේ ජංගම දුරකථනවලට තාක්ෂණික ක්‍රම මගින් අනවසරයෙන් ඇතුළු වී (Hack කර) තිබෙනවා.
පසුව ඔවුන්ගේ පෞද්ගලික නිරුවත් දර්ශන සහ වීඩියෝ හොරෙන් බාගත කරගන්නා මොහු, එම වීඩියෝ අදාළ තරුණියන්ගේම WhatsApp අංක වෙත යොමු කරමින් ඔවුන්ව බිය ගන්වා තිබෙනවා.
තවත් නිරුවත් දර්ශන ලබා දෙන ලෙසත්, එසේ නොකළහොත් අතේ ඇති වීඩියෝ අන්තර්ජාලයට මුදාහරින බවටත් ඔහු මාරාන්තික තර්ජන එල්ල කර ඇති බවයි අධිකරණයේදී අනාවරණය වුණේ.
මෙම සැකකරු පොලිසියට කොටු නොවී සිටීමට ඉතා සූක්ෂ්ම උපක්‍රම භාවිතා කර තිබෙනවා.
IMEI අංක හඳුනාගත නොහැකි ව්‍යාජ දුරකථන සහ VPN තාක්ෂණය භාවිතා කරමින් ෆේස්බුක් සහ වට්ස්ඇප් හරහා ඔහු මෙම අපරාධ සිදුකර තිබෙනවා.
නමුත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) පරිගණක අපරාධ විමර්ශන ඒකකය, ෆේස්බුක් සමාගමෙන් (Meta) ලබාගත් රහස්‍ය දත්ත වාර්තා ඔස්සේ මේ 'මතුගම හැකර්ගේ' සුලමුල සොයා ගැනීමට සමත් වුණා.
2023 වසරේදී කළුතර සහ පානදුර තරුණියන් දෙදෙනෙකු කළ පැමිණිලිවලට අනුව වසරකට වැඩි කාලයක් සිදුකළ විමර්ශනයකින් පසුවයි සැකකරුව අත්අඩංගුවට ගත්තේ.
කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා, සැකකරු ලබන මාරතු 06 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළා.
සැකකරුගේ මානසික තත්ත්වය පරීක්ෂා කර පූර්ණ වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසත් බන්ධනාගාරයට නියෝග කෙරුණා.

