gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line

සති අන්තයේ ඉන්ධන හිඟයක් ගැන ඛනිජ තෙල් බෙදුම්කරුවෝ කියති

ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගම එළැඹෙන ජනවාරි 17 වැනි සෙනසුරාදා ඛනිජ තෙල් බෙදාහැරීම සිදුනොකිරීමට තීරණය කිරීම නිසා එළැඹෙන සති අන්තයට ප්‍රමාණවත් ඉන්ධන තොග කලින්ම ඇණවුම් කරන ලෙස බෙදුම්කරුවන්ට දන්වා ඇතත් දින තුනකට එකවර මුදල් ගෙවා ඉන්ධන ඇණවුම් කිරීමට මූල්‍යමය හැකියාවක් නොමැති බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය පවසයි.

එම නිසා එළැඹෙන සති අන්තයේ ඉන්ධන පිරවුම්හල්වල ඉන්ධන හිඟයක් ඇතිවිය හැකි බවට ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය අනතුරු හඟවයි.

ජනවාරි 17 වැනිදාට පෙර සති අන්තයට ඉන්ධන ඇණවුම් ඉදිරිපත් කරන ලෙස ඛනිජ තෙල් ප්‍රාදේශීය කළමනාකරුවන් බෙදුම්කරුවන්ට පණිවුඩ මගින් දන්වා තිබෙන බව මෙම සංගමයේ සභාපති ශෙල්ටන් ප්‍රනාන්දු ‘අරුණ’ට කියා සිටියේය.

චෙක්පත් පහසුකම් මත ගෙවීම් කටයුතු සිදුකළ නොහැකි බැවින් ඉන්ධන තොගවලට වැය වන මුදල බැංකුගත කිරීමට කටයුතු කරන ලෙසද අදාළ පණිවුඩයේ සඳහන්ව තිබෙන බව ඔහු පැවැසුවේය.

දින තුනකට ඉන්ධන ලබාගැනීම සඳහා විශාල මුදලක් එකවර බැංකු ගත කිරීමට කිසිදු බෙදුම්කරුවකුට හැකියාවක් නොමැති බැවින් සති අන්තය සඳහා ඉන්ධන ඇණවුම් කිරීමක් පෙර සිට සිදුකළ නොහැකි බව සභාපතිවරයා පෙන්වා දුන්නේය.

එබැවින් ඉදිරි සති අන්තයේ ඉන්ධන අර්බුදයක් ඇතිවනු ඇති බවත් ඛනිජ තෙල් සංස්ථාව ඔවුන්ගේ අලෙවිකරුවන් වෙත ගෙවන ලබන වට්ටම් මුදල ද සොච්චමක් කර ඇති මේ අවස්ථාවේ මුදල් ගෙවා දින තුනකට අවශ්‍ය ඉන්ධන මිලයට ගැනීමට බොහෝ පිරවුම්හල් හිමියන්ට හැකියාවක් නොමැති බවත් ඔහු ප්‍රකාශ කළේය.

ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගම එළැඹෙන සෙනසුරාදා එනම් ජනවාරි 17 වැනිදා වසා දැමීමට තීරණය කර ඇති බවත් එම තීරණය ඔවුන් ගෙන ඇත්තේ සේවකයන්ට අතිකාල දීමනා ලබාදීමට සිදුවන නිසා බැවින් යැයි හෙතම පැවැසුවේය.

මේ හේතුවෙන් අපහසුතාවයට පත්වෙන්නේ ජනතාව බවත් එහි වගකීම තම සංගමය භාරනොගන්නා බවත් ඔහු වැඩිදුරටත් පැවැසුවේය.

“ඉන්ධන හිඟයක් එන්නෙ නැහැ”

මේ අතර, ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ආචාර්ය මයුර නෙත්තිකුමාර මහතා කියා සිටින්නේ සෑම මසකම එක් සෙනසුරාදාවක් ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගම වසා දැමීම මින් පෙර සිටම පැවැති දෙයක් බවය.

බෙදුම්කරුවන්ට ඉන්ධන ලබාගැනීමට කිසිදු ආකාරයකින් බාධාවක් නොමැති බවත් මින් පෙර සිටම ඔවුන් ඉන්ධන ලබාගත්තේ ණයට බව ඔහු පැවැසුවේය.

ඒ ආකාරයටම එළැඹෙන සති අන්තයට අවශ්‍ය ඉන්ධන ලබාගැනීමට බෙදුම්කරුවන්ට හැකියාව තිබෙන බවත් ජනතාව අපහසුතාවයට පත්වෙන ආකාරයට කටයුතු නොකරන ලෙස ද ඔහු බෙදුම්කරුවන්ගෙන් ඉල්ලා සිටී.

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka