වෙන්නප්පුව – නයිනමඩම ප්‍රදේශයේ ගිංඔයට පැන අතුරුදන්ව සිටි තරුණියගේ මළ සිරුර සොයාගෙන ඇති බව වෙන්නප්පුව පොලීසිය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ ජා ඇළ – බෝපිටිය ප්‍රදේශයේ පදිංචි 17 හැවිරිදි පාසල් සිසුවියක වන උදයංගනා සත්සරණී නමැති තරුණිය බව හඳුනාගෙන ඇත. ඇය මරණයට පත්වන අවස්ථාවේ කොච්චිකඩේ ප්‍රදේශයේ තාවකාලිකව පදිංචිව සිටි බවද වාර්තා වේ.
ඉකුත් 28 දින සවස 5.30ට පමණ ගිංඔය පාලම ආසන්නයේදී මෙම සිදුවීම සිදුව ඇති අතර, එහිදී තරුණිය සිය පෙම්වතාට දුරකථන ඇමතුමක් ලබාදී ඔහුව එම ස්ථානයට කැඳවාගෙන ඇත. අනතුරුව ඇය ගිංඔයට පැන ඇති බව පොලීසිය සඳහන් කරයි.
ඇය බේරාගැනීම සඳහා 18 හැවිරිදි එම තරුණයා ද ගිංඔයට පැන ඇති අතර, ප්‍රදේශවාසීන්ගේ මැදිහත්වීමෙන් ඔහුව බේරාගෙන මාරවිල මූලික රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබාදී ඇත.
මේ අතර මියගිය තරුණියගේ මව දෙවන විවාහයක් සිදුකරගෙන ඇති බවත්, පවුල තුළ අභ්‍යන්තර ගැටලු පැවති බවත් පොලීසිය වැඩිදුරටත් අනාවරණය කර ඇත.
කෙසේ වෙතත් ඊයේ (29) දින දහවල් ගිංඔය පාලම ආසන්නයේ පාවෙමින් තිබියදී තරුණියගේ මළ සිරුර ප්‍රදේශවාසීන් විසින් සොයාගෙන ඇති අතර, පශ්චාත් මරණ පරීක්ෂණය මාරවිල මූලික රෝහලේදී සිදු කිරීමට නියමිත බව වාර්තා වේ.
