සැක කටයුතු ලෙස මියගිය ජනප්‍රිය නිරූපණ ශිල්පිනී චූලා පද්මේන්ද්‍රගේ මරණය සම්බන්ධයෙන් කැස්බෑව අධිකරණය විසින් විවෘත තීන්දුවක් ලබාදී තිබෙනවා.
ඇයගේ ශරීරයේ බාහිර හෝ අභ්‍යන්තර තුවාල දක්නට නොමැති බවට වෛද්‍ය වාර්තාවේ සඳහන් කර ඇති බවත්, ශරීර කොටස් වැඩිදුර විමර්ශන සඳහා රජයේ රස පරීක්ෂක වෙත යොමු කිරීමට කටයුතු කර ඇති බවත් වාර්තා වනවා.
බොරලැස්ගමුවේ පදිංචි නිරූපණ ශිල්පිනී චූලා පද්මේන්ද්‍ර කුමාරපතිරණ, පිළියන්දල තුම්බෝවිල ගංගාරාම පාරේ ව්‍යාපාරිකයෙකුගේ නිවසේ ඇඳක් මත පෙරේදා (31) මියගොස් සිටියා.
අදාළ මරණය සම්බන්ධයෙන් පිළියන්දල පොලිසිය විසින් කැස්බෑව අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව වැඩ බලන මහේස්ත්‍රාත් සුනේත්‍රා පෙරේරා ස්ථානීය පරීක්ෂාව සහ මළ සිරුර පරික්ෂා කර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා කළුබෝවිල රෝහල වෙත යවන ලෙස ඊයේ නියෝග කර තිබුණා.
ඒ අනුව කළුබෝවිල රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරියකු විසින් අද දිනයේ පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වා තිබෙනවා.
බත්තරමුල්ල ප්‍රදේශයේ ඇය විසින් සංවිධානය කරන ලද උත්සවයකින් අනතුරුව ඇය ව්‍යාපාරිකයා සමග පෙරේදා (31) අලුයම පහට පමණ පිළියන්දල ඔහුගේ නිවසට පැමිණ කාමරයක නින්දට ගොස් ඇති බවට පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.
එදිනම දහවල් 12.45 ට පමණ ඇයව නින්දෙන් අවදි කිරීම සඳහා කටයුතු කර ඇතත් ඇය කිසිදු ප්‍රතිචාරයක් නොදැක්වීම හේතුවෙන් 1990 ගිලන් රථ සේවය කැඳවා පරීක්ෂාවට ලක් කිරීමේදී ඇය මියගොස් ඇති බවට අනාවරණය කර ඇති අතර ඇය නිදා සිටි ඇඳ ඇතිරිල්ලේ ලේ පැල්ලමක් තිබී ඇති බැවින් අදාළ ව්‍යාපාරිකයා ඒ සම්බන්ධව පිළියන්දල පොලිසියට පැමිණිලි කර තිබෙනවා.
මියගිය නිරූපණ ශිල්පිනියගේ මව ද පිළියන්දල පොලිසිය වෙත පැමිණිලි කර ඇති අතර පිළියන්දල පොලිසිය විසින් වැඩිදුර පරික්ෂණ සිදුකරනු ලබනවා.
