ඉන්දියාවේ ඔදිෂා ප්‍රාන්තයේ පුද්ගලයකු තම සහෝදරිය මියගිය බව ඔප්පු කිරීම සඳහා ඇගේ සොහොන හාරා මියගිය කාන්තාවගේ ඇටසැකිල්ල බැංකුවට ගෙන ගිය පුවතක් වාර්තා වේ.
50 හැවිරිදි මේ පුද්ගලයා සිය මියගිය සහෝදරියගේ බැංකු ගිණුමෙන් රුපියල් විසි දහසක් ගැනීමට යෑමේදී බැංකු නිලධාරීන් එම කාන්තාව මියගොස් ඇති බව පිළි නොගැනීම නිසා මෙම ක්‍රියාව සිදු කිරීමට ඔහුට සිදුව තිබේ. ප්‍රදේශයේ භාර පොලිස් නිලධාරි කිරන් ප්‍රසාද් සාහු පවසා තිබුණේ ජීතු මුන්ඩා නම් මේ පුද්ගලයාට මුදල් ආපසු ගැනීම සඳහා අනුගමනය කළ යුතු ක්‍රියාවලිය පැහැදිලි කිරීමට බැංකුව අපොහොසත් වී ඇති බවයි.
“මම කිහිප වතාවක්ම බැංකුවට ගියා, එහි සිටි අය මට කිව්වා ඇගේ නමින් තැන්පත් කර ඇති මුදල් ලබා ගැනීමට සහෝදරියව අරන් එන්න කියලා. ඇය මිය ගිය බව මම ඔවුන්ට පැවසුවද, ඔවුන් මට ඇහුම්කන් නොදී ඇයව බැංකුවට ගෙන ඒමට බල කළා. ඒ නිසා, කලකිරීමෙන්, මම මිනීවළ හාරා ඇගේ මරණය පිළිබඳ සාක්ෂියක් ලෙස ඇගේ ඇටසැකිල්ල පිටතට ගෙනාවා,” යැයි ජීතු මුන්ඩා පවසා තිබේ.
ජීතු මුන්ඩා 2026 ජනවාරි 26 වැනිදා මියගිය සහෝදරිය වන කල්රාගේ දේහය මාස තුනකට පසු ගොඩ ගෙන කිලෝමීටර් තුනක් එය ඔසවාගෙන ග්‍රාමීන් බැංකුව වෙත ගොස් තිබේ. අවසානයේ ඔහුට වහාම අරමුදල් නිකුත් කිරීමට බැංකුව දැන් අවසර දී තිබේ.
චතුර පමුණුව

