ශූරතාව දිනාගත් කොල්ට්ස් කණ්ඩායම ඇගයීම සඳහා පැවැති උත්සවයකදී අදහස් දැක්වූ හිටපු ශ්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස් සඳහන් කළේ, තම කණ්ඩායමට මෙම ශූරතාව දිනා ගැනීමට සිදු වූයේ ප්‍රතිවාදී කණ්ඩායම් සමඟ පමණක් නොව තවත් නොපෙනෙන බලවේග රාශියක් සමඟ සටන් කරමින් බවයි.
"අපි සටන් කළේ සියලු බාධකවලට එරෙහිවයි. මගේ කණ්ඩායම දන්නවා මම මේ කියන්නේ ප්‍රතිවාදීන් ගැන විතරක් නෙවෙයි කියලා," යනුවෙන් ඔහු පැවසූ අතර, ක්‍රිකට් පාලක මණ්ඩලය හෝ වෙනත් බලධාරීන් ඉලක්ක කර ගනිමින් ඔහු මෙම ප්‍රකාශය සිදු කරන්නට ඇති බව විචාරකයෝ පවසති.
මෙම තීරණාත්මක තරගාවලියේ අවසන් මහා තරගයේදී NCC කණ්ඩායමට එරෙහිව කොල්ට්ස් පිල වෙනුවෙන් දිනේෂ් චන්දිමාල් දියත් කළ අගනා ශතකය (ලකුණු 144) ජයග්‍රහණය සඳහා ප්‍රබල පදනමක් දැමීය. ඔහුට මනා සහයක් ලබා දුන් සනෝජ් දර්ශික ද නොදැවී ලකුණු 100ක් රැස් කරමින් කණ්ඩායම ජයග්‍රහණය කරා මෙහෙයවීය. චන්දිමාල්ගේ මෙම දක්ෂතාවය හරහා තමා තවමත් ජාතික ටෙස්ට් කණ්ඩායම නියෝජනය කිරීමට සුදුසු බව ඔහු යළිත් වරක් ඔප්පු කර තිබේ.
කොල්ට්ස් ක්‍රිකට් සමාජයේ සභාපති නිශාන්ත රණතුංග සහ හිටපු ක්‍රීඩක චාමින්ද මෙන්ඩිස්ගේ මඟපෙන්වීම යටතේ මෙම ජයග්‍රහණය ලබාගත් අතර, මුදිත ලක්ෂාන් හොඳම තුන් ඉරියව් ක්‍රීඩකයා ලෙසත්, අකිල ධනංජය කඩුලු 53ක් දවා ගනිමින් දක්ෂතම පන්දු යවන්නා ලෙසත් සම්මාන දිනා ගත්හ. වසර 20කට අධික කාලයක් කොල්ට්ස් කණ්ඩායම සමඟ රැඳී සිටින මැතිව්ස්, සිය කණ්ඩායම දැක්වූ සහෝදරත්වය සහ කැපවීම මෙම ජයග්‍රහණයේ රහස බව පෙන්වා දුන්නේය.
