මෑත කාලීනව භික්ෂූන් වහන්සේලා විදේශගතවීමේදී සිදුවූ විවිධ අක්‍රමිකතා සහ මත්ද්‍රව්‍ය ප්‍රවාහනය වැනි බරපතළ චෝදනාවලට භික්ෂූන් 21 නමක් හසුවීමේ සිදුවීම් සැලකිල්ලට ගනිමින්, භික්ෂූන් වහන්සේලාගේ විදෙස් ගමන් පාලනය කිරීමට රජය තීරණය කර ඇත. බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මහතා ප්‍රකාශ කළේ, මින් ඉදිරියට භික්ෂූන් වහන්සේ නමක් විදේශගත වීමේදී තම ගුරු ස්වාමින් වහන්සේගේ, ප්‍රාදේශීය නායක හිමියන්ගේ සහ අදාළ නිකායේ මහානායක හිමිවරුන්ගේ ලිඛිත නිර්දේශය ලබා ගැනීම අනිවාර්ය කරන බවයි.
මීට පෙර පැවති මෙම වැඩපිළිවෙල යළිත් දැඩි ලෙස ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයා සහ සියලු නිකායන්හි ලේඛකාධිකාරී හිමිවරුන් අතර පැවති සාකච්ඡාවකදී එකඟතාව පළ වී තිබේ.
ශාසනික ගරුත්වය ආරක්ෂා කිරීමේ අරමුණින් විහාර දේවාලගම් පනත කඩිනමින් සංශෝධනය කිරීමට ද පියවර ගෙන ඇති අතර, එහි 41 සහ 42 වගන්ති අනුව විනය පාලන බලය මහානායක හිමිවරුන් ප්‍රමුඛ මණ්ඩලයකට පැවරීමට යෝජනා වී ඇත.
විශේෂයෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම් වැනි නීති විරෝධී ක්‍රියාවලට සම්බන්ධ වන පිරිස් සම්බන්ධයෙන් නීතිය තදින්ම ක්‍රියාත්මක කරන බවත්, මෙවැනි අභාග්‍ය සම්පන්න සිදුවීම් වැළැක්වීමට නීතිපතිවරයා සහ අදාළ නිලධාරීන් සමඟ එක්ව පුළුල් වැඩපිළිවෙලක් දියත් කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.
