රාගම ප්‍රදේශයේ වෙළෙඳසැලක් තුළදී කාන්තාවකගේ හිසකෙස් කපා දරුණු ලෙස හිරිහැර කිරීමේ සිද්ධියකට අදාළව අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකාරිය ඇතුළු පස්දෙනා ලබන 20 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
මෙම අමානුෂික සිදුවීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ වීඩියෝ දර්ශන පදනම් කරගනිමින් කඩිනම් විමර්ශන ඇරඹූ රාගම පොලිසිය විසින් පෙරේදා (17) දිනයේදී මෙම සැකකරුවන් පිරිස නීතියේ රැහැනට කොටුකර ගනු ලැබීය.
පොලිසිය විසින් වින්දිත කාන්තාවගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව ඇයව වැඩිදුර වෛද්‍ය පරීක්ෂණ සඳහා රාගම ශික්ෂණ රෝහල වෙත යොමු කර ඇත.
විමර්ශනවලට අනුව මෙම සිද්ධියට මුල් වූ ප්‍රධාන සැකකාරිය රාගම ප්‍රදේශයේම පදිංචි 27 හැවිරිදි කාන්තාවක් වන අතර, සෙසු සැකකාර තරුණයින් සිව්දෙනා වයස අවුරුදු 20, 21, 22 සහ 23 යන වයස්වල පසුවන රාජාංගනය, කඩවත, රාගම සහ ත්‍රිකුණාමළය - චීනවරාය යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය වැඩිදුරටත් සඳහන් කරයි.
